චන්ද්‍රසිරි දොඩන්ගොඩ සැමරුම් උළෙල 18 වෙනිදා


දෙවසරකට පමණ පෙර අප අතරින් වියෝවූ ප්‍රවීණ ලේඛක, මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මෙරට සාහිත්‍යයට, ජනමාධ්‍යවේදයට කල මෙහෙවර අගයනු වස් සහ නවක ලේඛක ලේඛිකාවන් හට තම නිර්මාණ කාර්යය සඳහා නිසි ඇගයීමක් ලබාදෙනු වස් චන්ද්‍රසිරි දොඩන්ගොඩ අනුස්මරණ පදනම විසින් දැනට වසරකට අසන්න කාලයකදී සංවිධාන කටයුතු ආරම්භ කරන ලද “ ‘චන්ද්‍රසිරි දොඩන්ගොඩ සාහිත ප්‍රණාම’, සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරඟාවලිය 2019” හි සම්මාන, සහතික සහ ත්‍යාග ප්‍රධානෝත්සවය 2020.02.18 වන අඟහරුවාදා දින පස්වරු 2.45 ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

මෙම තරඟාවලිය සඳහා නවකතා, කෙටිකතා, ගීත නිර්මාණ, පද්‍ය රචනා යන තරග අංශයන්ගෙන් නිර්මාණ විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් විශිෂ්ට නිර්මාණ තෝරාගෙන ඇත.

ඔහුගේ අවසන් නිර්මාණය වන “අල්තිනුගේ කතා වස්තුව” නවකතාව සහ ඔහුගේ “බිඳුණු පුරහඳ” ආඛ්‍යාන කාව්‍ය සංග්‍රහය දොරට වැඩිමද, තරඟාවලියේ ජයග්‍රාහී නිර්මාණ “විමුක්තිය සොයා” නවකතාව, “සුදු සාරිය සහ තවත් කතා” කෙටිකථා සංග්‍රහය, “බුදල් මම වෙමි” කාව්‍ය සහ ගීත සංග්‍රහය ද ග්‍රන්ථ ලෙස දොරට වැඩිම මෙහිදී සිදුවේ.

විශේෂ දේශන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීන ලේඛිකා අනුල ද සිල්වා, කෘතහස්ත මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මැල්, ප්‍රතිභාපුර්ණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදු කිරීමට නියමිතය. ජයග්‍රාහී ගීත ගායනය සඳහා විශාරද ශෂිකා නිසංසලා සහ විශාරද සමන් ලෙනින් මෙම අවස්ථාවට එක්වේ.