යුරෝපා සංගමය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි




යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා ජනවාරි මස 15 සිට 17 දිනවලදී උතුරු පළාතේ සංචාරයට නිරත වූයේය.

එම සංචාරය අතරතුර ඒ මහතා 17 වන දින මුහමලේ ප‍්‍රදේශයට ගොස් යුරෝපා සංගමයේ අරමුදලින් HALO Sri Lanka  සංවිධානය විසින් දියත් කරනු ලබන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළේය. එම වැඩසටහන යටතේ, බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා යුරෝ මිලියන 2.5 ක ප‍්‍රදානයක් සිදු කෙරේ. මුහමලේ යනු ශ‍්‍රී ලංකාවේ වැඩිම බිම් බෝම්බ ඝනත්වයක් ඇති ප‍්‍රදේශයවන අතර ලොව ඇති වඩාත් සංකීර්ණ ම බිම් බෝම්බ සහිත ප‍්‍රදේශය ද වේ. මෙම වැඩසටහන යටතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිලධාරින් පුහුණු කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත අතර යුරෝපා සංගමයේ සහයෝගයෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ නිලධාරීන් 22 ක් පුහුණු කර යොමු කෙරේ.


බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී අදහස් පළ කළ තානාපති චයිබි මහතා ප‍්‍රකාශ කළේ, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පිරිස් සඳහා යුරෝපා සංගමය දක්වන සමස්ත සහයෝගයේ එක් අංශයක් ලෙස බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙලෙස දායකත්වය ලබා දෙන බවය. ‘‘යුද්ධය නිමා වී වසර දහයක් ගත වී ඇතත්, බිම් බෝම්බ එම ප‍්‍රදේශයේ ජනතාවට තවමත් විශාල තර්ජනයක් වී තිබෙනවා. මින් පෙර බලයත් පත්වූ සෑම රජයක් ම ශ‍්‍රී ලංකාවෙන් බිම් බෝම්බ උවදුර ඉවත් කිරීම සඳහා පුද්ගලනාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට එකඟ වීම ඇතුළුව ශක්තිමත් පියවර රැුසක් අනුගමනය කර තිබෙනවා. HALO Sri Lanka  සංවිධානය හරහා මෙම ප‍්‍රදේශවල ජනතාවට යළි පදිංචි වීමට සහ ඔවුන්ගේ ජීවිත යළි ගොඩනගා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට යුරෝපා සංගමයට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අදහස් පළ කළේය.


මෙම දෙදින සංචාරය අතරතුර තානාපතිතුමා උතරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියත්. උතුරු පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් පී.ආර්. වනිගසූරිය මහතා සහ සිවිල් සමාජ නියෝජිතයන් ද මුණ ගැසුනේය. යුරෝපා සංගමයේ අරමුදලින් පවුල් පුනරුත්ථාපන කේන්ද‍්‍රය (FRC) විසින් උතුරු පළාතේ දියත් කෙරෙන තවත් ව්‍යාපෘතියන් දැකබලා ගැනීමට ද ඒ මහතා කටයුතු කළේය. විශේෂයෙන් මානසික පීඩාවලට ලක්වූ කාන්තාවන්, පිරිම්න් සහ තරුණ ප‍්‍රජාවට අවශ්‍ය මානසික සහයෝගය ලබා දීම එම ව්‍යාපෘතියේ අරමුණයි.