‘‘ජනමාධ්‍යවේදීන්ට සහන රැසක් මාර්තුවේදී‘‘ - ලක්ෂ්මන්


ජනමාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදීගැනීමට ලබාදෙන ණය යෝජනා ක්‍රමය තුළින් ඉදිරියේදී වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔවුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව දියත් කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන (2020) මේ වනවිට ආරම්භ කර ඇති බවත් ගරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (7) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන 2020’ යටතේ මාධ්‍යවේදීන් ලෙස වසර තුනකට වැඩි කාලයක් සේවය කර ඇති, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වයස අවුරුදු 18 – 55 අතර පිරිසට උපාධිය ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මීට අමතරව කෙටි කාලීන පාඨමාලාවන් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බවත් පෙබරවාරි මස 7 වැනිදාට පෙර මේ සඳහා වූ අයදුම්පත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය වෙත යොමුකළ යුතු බවත් එතුමා පැවසීය.

මාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදීගැනීමට ලබාදුන් ‘මාධ්‍ය අරුණ‘ ණය යෝජනා ක්‍රමය අඩු පොළියකට, විශාල පිරිසකට ණය ලබාදීමට හැකිවන පරිදි අලුත් කර එළඹෙන මාර්තු මස අග වනවිට මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුවේ විධිමත් හා කාර්යක්ෂමව සිදුකිරීමට ආදර්ශ තැපැල් කාර්යාල කීපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අප්‍රේල් මස වනවිට මෙහි පළමු අදියර යටතේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව, මාතර - මාකඳුර තැපැල් කාර්යාලය, කොම්පඤ්ඤ වීදිය, හෝමාගම, කුරුණෑගල තැපැල් කාර්යාල මේ යටතේ වැඩිදියුණු කරන බවත් පැවසීය.

ටෙලිකොම් ආයතනය සමග සන්ධානගත වෙමින් ජනතාවගේ සියලු අන්තර්ජාල පහසුකම් එක් වහලක් මගින් ලබාදීමේ අරමුණින් මේ යටතේ උප තැපැල් කාර්යාල 500ක් පරිගණක ගතකර නවීකරණය කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය.