‘‘ආණ්ඩුව මාස දෙකක් යන්න කලින් විකිණිල්ල පටන්ගෙන‘‘ - විජිත


රාජපක්‍ෂ පාලනය සඳහා ඡන්දය ලබාදුන් හැටනම ලක්‍ෂයක් ජනතාවගේ ජනවරමට පිටුපා කටයුතු කරන බවත් යහපාලනය ආණ්ඩුව විසින් සිදුකළ වැරදි වත්මන් පාලනය විසින් සිදුකරන බවත් අද (2) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,

විකිණිල්ල ආරම්භ වෙලා 

‘‘මීට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමයේත් කැබිනට් අනුමැතිය පමණක් ලබාගෙන ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශාල විරෝධයක් එල්ල වුණා. ඒ නිසා පසුගිය රනිල් මෛත්‍රී ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණා මේ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර නියමිත ටෙන්ඩර් ක්‍රමය අනුගමනය කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් රනිල් මෛත්‍රී ආණ්ඩුවත් එම නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට දේශපාලන හිතවතු්නට ටෙන්ඩර් නොමැතිව ව්‍යාපෘති ලබාදුන්නා. එම නිසා එම ව්‍යාපෘති දූෂිත ව්‍යාපෘති බවට පත්වුණා. මේ ආකාරයට රටේ සම්පත් විකුණුවා, බදු දුන්නා. 99 අවුරුදු බදු 199 අවුරුදු බදු යටතේ ව්‍යාපෘති ලබාදුන්නා.

රාජපක්ෂ පාලනය බලයට එන්න පෙර කිව්වා තමන් බලයට ආවොත් රටේ සම්පත් විදෙස් සමාගම්වලට විකුණන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි 2018 සැප්තැම්බර් මාසයේ ජනරැලියකදී මහින්ද රාජපක්ෂ විදෙස් සමාගම්වලට කිව්වා මෛත්‍රී රනිල් ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා තමන්ගේ ආණ්ඩුවක් යටතේ ඒවා නැවත පවරා ගන්නවා කියලා. ඒ වගේ පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාවල ගෝටාභය රාජපක්ෂ පුන පුනා කිව්වේ රට රකිනවා, රටේ දේපළ ආරක්ෂා කරනවා කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස එක හමාරක් යනකොට විකිණිල්ල ආරම්භ කොට තිබෙනවා. පළවෙනි ආයෝජනය කියමින් මේ ආණ්ඩුව බාලදක්‍ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා අතර පිහිටි අක්කර 3ක ඉඩමක් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සිංගප්පූරු සමාගමකට ලබාදී තිබෙනවා.

රනිල් මෛත්‍රී ආණ්ඩුව මෙම ඉඩම පෙරනියල් රියල් එස්ටේට් සමාගමට ලබාදීමට යන බව පවසමින් එම ආණ්ඩුව සමයේදී කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළකොට තිබුණා. ඔහු කියා තිබුණේ එම ඉඩම බදු දීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය නොකිරීම නිසා ආණ්ඩුවට ලැබීමට තිබූ විශාල බදු මුදලක් අහිමි වූ බවත් ඊට වඩා වැඩි බදු මුදලකට එම ඉඩම් කොටස ලබාදීමට හැකි බවත්ය. නමුත් අද සිදුවී තිබෙන්නේ මොකක්ද? මේ ආණ්ඩුව මාස දෙකක් යන්න කලින් විකිණිල්ල පටන් අරගෙන තිබෙනවා. මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව රු. මිලියන 250ක ව්‍යාපෘතියක් සඳහා පෙර කී අක්කර 3ක ඉඩම පෙරනියල් රියල් එස්ටේට් සිංගප්පූරු සමාගමට ඩොලර් මිලියන 43කට බදු දී තිබෙනවා. ආසන්න වශයෙන් එය රු. කෝටි 780ක්. මීට පෙර රාජපක්‍ෂලා බලයේ සිටියදී ෂැංග්‍රිලා සමාගමට ලබාදුන් ඉඩමට අල්ලපු ඉඩම වර්තමානයේ ලබා දුන්නා. අපේ රටේ ජාතික සම්පත් විදේශීය සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මත්තල ගුවන් තොටුපොළත් ලබාදෙන්න විදේශීය ආයෝජකයින් හොයමින් ඉන්නවා.

රාජපක්ෂ පාලනය හැටනම ලක්ෂයේ ජනවරමට පයින් ගැහුවා

රාජපක්‍ෂ පාලනය සඳහා ඡන්දය ලබාදුන් හැටනම ලක්‍ෂයක් ජනතාවගේ ජනවරමට පයින් ගහලා මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. දේශප්‍රේමී යැයි තමන්ම කියාගත් ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙනෙමින් තිබෙනවා. මැතිවරණ වේදිකාවේදී එම්.සී.සී. ගිවිසුම, රාජ්‍ය සම්පත් විදේශීය සමාගම්වලට කුණු කොල්ලයට විකිණීම ගැන කියපු කතා සම්පූර්ණයෙන් අනෙක් පැත්ත හරවමින් කටයුතු කරමින් තිබෙනවා. මෙම ඉඩම් අක්කර 3 සිංගප්පූරු සමාගමට ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ කියා තිබෙන්නේ “කලබල වෙන්න එපා, මෙම ව්‍යාපෘතියෙන් හදන නිවාස 700 පදිංචි වෙන්නේ ලංකාවේ ජනතාව” කියලා. ඒක බොරුවක්. විදේශීය සමාගමකට ඉඩම බදු දීමෙන් පසුව එම සමාගම විසින් ඉදිකරන නිවාසවල අයිතිය ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන්නේ නැහැ. අවශ්‍ය නම් එම නිවාස බදු පදනම මත ලබාගන්න පුළුවන්. එසේ වුවත් එම නිවාස ව්‍යාපෘතියේ ආදායම ලැබෙන්නේ සිංගප්පූරුවෙ සමාගමටයි. එනිසා දැන් සිදුවෙමින් තිබෙන්නේ රනිල්- මෛත්‍රී ආණ්ඩුව කරපු දේමයි. පහුගිය ආණ්ඩුව කරපු දේවල් රාජපක්‍ෂ පාලනය මාස දෙකක් ගතවෙන්නත් කලින් නැවත ආරම්භ කරලා තිබෙනවා.

ටෙන්ඩර් පටිපාටියක් නැතිව මෙම අක්කර 3ක ඉඩම් කැබැල්ල ලබාදුන්නේ කොහොමද? පෙර නියල් රියල් එස්ටේට් සමාගම පමණක් තෝරා ගත්තේ කුමන පදනමකින් දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුයි. ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති කරන්න ඡන්දය දුන්නේ නැවතත් අපේ රටේ සම්පත් විදේශීය සමාගම්වලට විකුණා දමන්නද? ජනාධිපතිවරණයෙන් බලයට ආපු ගෝටාභය රාජපක්‍ෂත් දැන් කියනවා, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3ක බලයක් ලබාදෙන්න කියලා. අපි ගෝටාභය රාජපක්‍ෂගෙන් අහනවා, 2/3 බලය ඉල්ලන්නේ අපේ රටේ ඉතිරි සම්පත් ටිකත් විදේශීය රටවලට විකුණා දමන්නද කියලා?

ජනතාව මැදිහත්විය යුතුයි

ජනතාවගේ ජනවරමට පිටුපාමින් සිදුකරන මෙවැනි අපරාධ ආපසු හැරවිය යුතුයි. මෙවැනි ව්‍යාපෘති ආපසු හැරවිය හැක්කේ ජනතාවගේ මැදිහත්වීමෙන් පමණයි. අපි දේශපාලන පක්‍ෂයක් විදිහට මෙවැනි අපරාධ වැළැක්වීම සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමට සූදානම්. ජනතාවට බොරු කියලා බොරුවෙන් බලය ලබාගත් ආණ්ඩුව රට පාලනය කරන්න හදන්නේ බොරුවෙන්මයි. එනිසා අපේ රටේ ජනතාව අවදියෙන් සිටියහොත් මෙවැනි ක්‍රියාමාර්ග නැවත හරවන්න පුළුවන්.‘‘ යන්නයි.