තරුණ සංගීත නිර්මාණ ශිල්පියෙකු වන සාගර සුරේෂ් විජේසිංහ තමන්ට ආවේණික වූ සංගීත ශෛලියකින් ප්‍රසංග මාලාවක් පවත්වාගෙන යයි. මෙම ප්‍රසංග මාලාව ලංකාවට සුවිශේෂී වන්නේ මෙය ස්වභාවික එළිමහන් පරිසරයක් තුළ පවත්වන නිසායි. එහි නවවන ප්‍රසංගය ‘බෙයන්ද් මියැසිය‘ 2020 ජනවාරි පලමු වැනිදා දහවල් 02 ට පාහියංගල ලෙන පරිශ්‍රයේදී පැවැත්වෙයි. මේ ඔහු ඒ ගැන පළකල අදහස්ය.
ඔබ පිළිබඳව හඳුන්වා දුන්නොත්?
මගේ නම සාගර සුරේෂ්. මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බටහිර සංගීත වාදනය පිළිබඳව අධ්‍යාපනය හදාරනවා. එතකොට ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. ඊට අමතරව ප්‍රේමසිරි කේමදාස ඇකඩමියේ සංගීතය අධ්‍යයනය කරනවා. ඒ වැඩසටහන්වලට අමතරව මම සංගීත ප්‍රසංග කිහිපයක් පවත්වාගෙන යනවා.
එම ප්‍රසංග මාලාව පිළිබඳව පැවසූවොත්?
අපි මේ සංගීත මාලාව සිදු කරන්නේ ස්වභාවික පරිසරයේ ඉඳලාමයි. මෙහි සංගීත නිර්මාණ සියල්ලම ස්වභාවික පරිසරය, සුන්දරත්වය තේමා කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම ප්‍රසංගවල අපි කිසිම ගායනාවක් භාවිතා කරලා නැහැ. සියළුම දේවල් සංගීත භාණ්ඩ භාවිතා කරලා තමයි සිදු කරන්නේ. ලංකාවේ ස්වභාවික පරිසරයක් තුළ එකම ප්‍රසංග මාලාව මේක. මේ කොන්සට් එකේදී ප්‍රේක්ෂකයන්ව අපි වාදන ශිල්පීන් ළඟට ගෙන්වා ගන්නවා. කිසිම ශබ්ද පරිපාලන උපකරණයක් මේ කොන්සට් එකට භාවිතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඔරිජිනල් ශබ්දයෙන් තමයි කොන්සට් එකම සිදුවෙන්නේ.
මේ ප්‍රසංග මාලාව ආරම්භ වෙන්නේ කොහොමද?
මේ වනවිට මම මෙම මෙවැනි ප්‍රසංග අටක් ලංකාව පුරා පවත්වා තිබෙනවා. එහි නව වැන්න ජනවාරි පලමුවැනිදා පාහියංගල ලෙනෙහි සිදු කරන්නට නියමිතව තියෙන්නේ. ඒක පැය එකහාමාරක පමණ ප්‍රසංගයක්. මෙහි පලමු ප්‍රසංගය පැවැත්වූයේ මීරිගම වනාන්තරයක් තුළයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඇතුව තමයි ඒ ප්‍රසංගය පැවැත්වූයේ. මුල්ම ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයන් පන්සියයක් පමණ එකතු වුණා. ඒ ප්‍රසංගය නම් කරේ හරිත මියැසිය නමින්. ඉන්පසු අල්ගම ඇල්ල කියන ස්ථානයේදී නීල මියැසිය නමින් ප්‍රසංගයක් පැවැත්වූවා.
මේ ප්‍රසංගයෙහි ඇති විශේෂත්වය මොකද්ද?
මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ‘බෙයන්ද් මියැසිය’ නමින්. බෙයන්ද් කියන්නේ ගුහාව කියන එක. එතකොටම මේක අපේ අනෙක් ප්‍රසංගවලට වඩා වෙනස් වෙනවා හේතු කිහිපයකින්. ගුහාවක් තුළ ඉද්දි ප්‍රේක්ෂකයන්ට දැනෙන හැඟීම කොහොමද කියන දේට අපි සංගීතමය අර්ථකතනයක් දෙනවා. අපේ පැවති කිසිම ප්‍රසංගයකදී වචන භාවිතා කළේ නැහැ. නමුත් මේ ප්‍රසංගයේදී අපි වචන කිහිපයක් භාවිතා කරනවා. එහිදී අපි යොදාගන්නවා සීගිරි කුරුටු ගීත කිහිපයක්. ඒ වගේම ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ඒ ජීවන චර්යාවන් අධ්‍යයනය කරමින් සංගීත නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වැනි ප්‍රසංගයක් පවත්වන්නට සිතුවේ ඇයි?
අද ලංකාවේ සංගීතය රඳා පවතින්නේ ‘ගීතය’ කියන දේ මතයි. නමුත් අපි බැලුවොත් ලෝකයේ බොහෝ ප්‍රසංග පැවැත්වෙනවා ගීතයෙන් තොර වූ හුදෙක් සංගීතයම පමණක් භාවිතා වන. ලංකාවේ මේ ප්‍රවණතාවය අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ගීතයෙන් ඔබ්බට සංගීතය ලංකාව තුළ ප්‍රචලිත කිරීමට තමයි අපේ අරමුණ වන්නේ. මෙහි කිසිඳු වචනයක් භාවිතා වන්නේ නැති නිසා මෙම සංගීත ප්‍රසංගය ඕනෑම ජන වර්ගයකට පහසුවෙන් ග්‍රහණය කර ගන්නට පුළුවන්. ලංකාවේ රසිකත්වය වැඩි කරගන්න, ප්‍රේක්ෂකාගාරය දියුණු කරගන්න එකත් අපේ එක්තරා අරමුණක්.
ප්‍රසංගයට ආරාධනා කළොත්?
ඔව්. ජනවාරි පලමුවැනිදා පාහියංගල ඓතිහාසික ලෙන පරිශ්‍රයේ පැවැත්වෙන ‘බෙයන්ද් මියැසිය’ ප්‍රසංගයට සංගීතයට කැමති සියළුම රසිකයන්ට ආරාධනා කරනවා.
(උපුටාගැනීම ‘සාරවිට‘ වෙබ් අඩවියෙනි)
Post a Comment