‘‘මාධ්‍ය නිදහසට බලපෑම් කරන්නේ නෑ‘‘ - ජනපති


රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බවත් ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු හමුවේදී අවධාරණය කර සිටියේය. 

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ඔහු මෙහිදී විශ්වාසය පළ කළේය.

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වේ. එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ඔහු පෙන්වා දුන්නේ ඒවා කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි. නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබදව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.