සියලු උපාධිධාරීන්ට රැකියා - ජනමාධ්‍යවේදීන්ට සහන රැසක්



කිසිදු පක්ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව සියළුම උපාධිධාරින්ට උපාධිය ලබා ගත් වර්ෂානුකූලව ක්‍රමවත් බඳවා ගැනීමේ පටිපාටියක් යටතේ රැකියා ලබා දෙන බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන අද (17) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. 

ඒ ඒ සුදුසුකම් යටතේ ග්‍රාමීය මට්ටමින් දිළිදු භාවය මුල්කරගෙන සුළු සේවකයින්ටද රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට  බලාපොරොත්තු වන බවත් අවධාරණය කළේය. 

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම උදෙසා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, මාධ්‍යවේදීන් වෙනුවෙන් නාගරික නිවාස සංකීර්ණයක් සහ සහන වාහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.

පූර්ණ කාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ජනමාධ‍්‍යවේදීන්ට පළාත් මට්ටමින් ජනමාධ්‍ය ස්ථාගාර (Press Club) පිහිටුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී පැවසුවේය. 

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවත් ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මෙම සහන ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා  මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සෑම විටම රජය කටයුතු කරන බවත් පෙන්වාදුන්නේය.