MCC බිල්ලෙක් ද ? - අවස්ථාවාදී දේශපාලනයට එරෙහි වෙමු





- ආචාර්ය ඉන්දි අකුරුගොඩ -



MCC ගැන අනියත බියක් ඇයි ? 

බටහිර යුරෝපා රාජ්‍යයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවත්වාගෙන යන විදේශ සබඳතා, ගිවිසුම් සහ එම රාජ්‍යයන්හි අනුග්‍රහය හා ආධාර ඇතිව පවත්වාගෙන යන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නිරන්තර සැකයට සහ අවිශ්වාසයට බඳුන් කිරීම, ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන අන්තවාදීන් පිරිසකගේ විනෝදාංශයක් බවට පත් වී තිබේ. මෙම විදේශ රාජ්‍යයන් සහ ඒවායින් ලැබෙන ණය සහ ආධාර විවිධ බිල්ලන් ලෙස රූපාන්තරණය කිරීම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විවිධ අන්තවාදී සහ ජාතිවාදී දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් කූඨ ලෙස ජනතාව රවටා දේශපාලන බලය ලබා ගැනීමේ උපක්‍රමයක් බවට පත් කරගෙන තිබීම ඛේදවාචකයකි. වඩාත් ජනප්‍රිය සටන් පාඨ ලෙස ඔවුන් උපයෝගී කරගන්නේ, බටහිර යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ණය, ආධාර, සංවිධාන, විදේශ සබඳතා සහ ගිවිසුම් වනාහි අතිශයින් භයානක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ බවයි; මෙම විදේශ සබඳතා, නව යටත්විජිත්කරණයක පෙරනිමිති බවයි; නොදන්නා අනාගත දිනයකදී මෙම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් විසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ඇති බවයි. 

උභතෝකෝටිකය වන්නේ, මෙම අන්තවාදී සහ ජාතිවාදී පිරිස්ම එම විදේශ රාජ්‍යයන්හි පදිංචි වීමට, සංචාරය කිරීමට, සිය දරුවන්ට එම රාජ්‍යයන්හි අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීමට මෙන්ම, ලැබේ නම් විදේශ සංවිධාන හරහා අරමුදල් ලබාගෙන ඒවා තම පෞද්ගලික සුඛ විහරණය පිණිස යොදා ගැනීමට ද මහත් අභිරුචියක් දැක්වීමයි. මෙවැනි පරස්පරතා කෙතරම් තිබුණ ද විදේශීය බිල්ලන් මැවීමෙන් තොරව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කළ නොහැකිය. ජනතාව රැවටීම එම දේශපාලනයේ අනිවාර්ය අංගයකි. ජනාධිපතිවරණය අභිමුව තබා මොවුන් නැවතත් ඇමෙරිකානු බිල්ලෙකු මවා තිබේ. ඒ ‘සහශ්‍ර අභියෝගතා සංස්ථා ප්‍රදානය’ නොහොත් MCC ලෙස කෙටියෙන් හඳුන්වන Millennium Challenge Corporation Grant පිළිබඳ අනියත බියක් ඇති කර ජනතාව රැවටීම අරමුණු කර ගනිමිනි. මෙම ලිපියේ අරමුණ වන්නේ, MCC පිළිබඳ සැබෑ තොරතුරු කෙටියෙන් විග්‍රහ කිරීමයි. 

MCC යනු 

MCC යනු, මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති විශාලතම විදේශ මුදල් ප්‍රදානයයි. එය ණය මුදලක් නොව ආධාරයකි. එනම්, නැවත ගෙවිය යුතු නැත. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි යහපාලනය හා ආර්ථික නිදහස තහවුරු කිරීම වෙනුවෙන් සහ පුරවැසියන් සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් MCC ආයතනය සහාය සලසයි. මෙය, දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට විදේශාධාර ලබාදෙන ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්වාධීන රාජ්‍ය ආයතනයකි. මෙම ආයතනය ආධාර සපයන්නේ තරගකාරී තේරීම් ක්‍රියාවලියක් යටතේ ආධාර ඉල්ලුම් කරන රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති කාර්යසාධනය මත පදනම් වෙමිනි. එබැවින් එය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් බලහත්කාරයෙන් පිරිනමන්නක් නොවන අතර ආධාර ලබාගන්නා රාජ්‍යයේ සාධනීය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම පිණිස ඇති කරගන්නා හවුල්කාරිත්වයක් මත තරගකාරී ලෙස දිනාගන්නා අරමුදලකි. MCC අරමුදල ප්‍රදානය කරන විට, එය කළමනාකරණය සහ අධීක්ෂණය කිරීම පිණිස දේශීය වගවීමේ ආයතනයක් පිහිටුවිය යුතුය. ඒ අනුව විදේශාධාර අත්තනෝමතික ලෙස අපයෝජනය කිරීම වැලැක්වීමට මෙම යාන්ත්‍රණය හරහාම පියවර ගෙන ඇති බව පෙනේ. 

MCC බිල්ලෙකු ලෙස උලුප්පා දක්වන පිරිස් හිතාමතාම අමතක කරන කාරණය වන්නේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් මගින් වසර පහක් තුළ සහන සලසන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට බවයි. පුරවැසියන්ගේ බදු මුදලින් මාර්ග සංවර්ධනය හෝ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සිදුකරනවාට වඩා විදේශාධාර යොදා ගනිමින් ඒවා ක්‍රියාවට නැංවිය හැකිනම් එය වාසිසහගත බව ඕනෑම අයෙකුට වටහා ගත හැකි සත්‍යයකි.
MCC මගින් අරමුණු කරන්නේ, ශ්‍රී ලංකා රජය සහ MCC ආයතනය එක්ව හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා බලපාන ප්‍රධාන බාධාවන් දෙකක් වන දුර්වල ප්‍රවාහන යටිතල පහසුකම් සහ දුර්වල ඉඩම් පරිපාලන භාවිතයන් ආමන්ත්‍රණය කිරීමයි. ඒ අනුව MCC මගින් ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය යනුවෙන් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ප්‍රවාහන ව්‍යාපෘතිය

MCC ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ නවීන රථවාහන කළමනාකරණ පද්ධතියක් ඇති කිරීමටත්, බස් ප්‍රවාහන සේවය නව්‍යකරණය කිරීමටත්, ග්‍රාමීය ප්‍රවාහනය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරන බව සඳහන්ය. නවීන රථවාහන කළමනාකරණ පද්ධතියක් ඇති කිරීම සඳහා කිලෝමීටර් 205ක මාර්ග ජාලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, ධාවනය වන රථවාහන පිළිබඳ එම අවස්ථාවේදීම දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය, අන්තර්සම්බන්ධිත රථවාහන ආලෝක සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම, මාර්ග ජාලය තුළ බස් ප්‍රමුඛතා මංතීරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මංසන්ධි 132ක් වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම සහ පදික මාරු ස්ථාන පුළුල් කිරීම හා පදික වේදිකා වැඩිදියුණු කිරීම සිදුකරනු ලැබේ.

එසේම බස් ප්‍රවාහන සේවය නවීකරණය කිරීම යටතේ ස්වයංක්‍රීය ගාස්තු ගෙවීමේ සුහුරු කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දීම, පොදු ධාවන කාලසටහන් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, GPS තාක්ෂණය මගින් බස් රථ අධීක්ෂණය, කාන්තාවන්, ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන් හා අනෙකුත් අනතුරුවලට භාජනය විය හැකි කණ්ඩායම් සඳහා ආරක්ෂාව හා බස් ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ලංගම හා පෞද්ගලික බස් රථ මෙහෙයුම්කරුවන්ට නවීන බස් රථ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහාය දීම සිදුකිරීමට නියමිතය. 

ග්‍රාමීය ප්‍රවාහනය දියුණු කිරීම සඳහා ඉලක්ක වන්නේ සබරගමුව, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්ය. එම පළාත්වල මාර්ග ජාලයේ කිලෝමීටර් 131ක මාර්ග කොටස් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම, රටේ මධ්‍ය කලාපයේ ආර්ථික කටයුතු බස්නාහිර පළාතේ වරාය සහ වෙළඳපොළ සමඟ සම්බන්ධ කිරීම, මාර්ග නඩත්තු අරමුදල සඳහා නව මූල්‍යකරණ යාන්ත්‍රණයක් ඇති කිරීම සහ මාර්ග ආරක්ෂණ පියවර හඳුන්වා දීම මීට  අයත්ය. 

දැන් මතුවන ප්‍රශ්නය වන්නේ, යෝජිත මාර්ග ව්‍යාපෘතියේ එකදු තැනකවත් ඇමෙරිකා එක්සත් ජනපද ආක්‍රමණයක හෝ කුමන්ත්‍රණයක ස්වරූපයක් තිබේ ද, යන්නයි. දරාගත නොහැකි චීන ණය මුදල් යොදාගෙන ඉදිකරන ලද අධිවේගී මාර්ග සහ නිෂ්ඵල මහා පරිමාණ ව්‍යාපෘති රාශියක් සාධාරණීකරණය කරන සමාජයක්, රටේ පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම උදෙසා ලබාදෙන ආධාර මුදල්වලට එරෙහිව ඇමෙරිකානු බිල්ලෙකු මවන්නේ ඇයි? මුලදී සඳහන් කරන ලද අන්තවාදී සහ ජාතිවාදී කණ්ඩායම්වලට සිය අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර ජයග්‍රහණය කර පවත්වාගෙන යාමට තිබෙන එකම මාර්ගය වන්නේ, අධිරාජ්‍යවාදී බිල්ලා විටින් විට පණගැන්වීමයි. වර්තමානයේ සිදු වන්නේ ද එයයි; ඒ හරහා ජනතාව මුලාකර ඔවුන්ගේ දේශපාලන කඳවුර ජයග්‍රහණය කරවීමට ගත හැකි සියලු පහත් ව්‍යායාමයන්හි යෙදීමයි. 

ඉඩම් ව්‍යාපෘතිය

MCC හරහා යෝජිත ඉඩම් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනුයේ, ඉඩම් ලේඛනගත කිරීමත්, පරිගණකගත ඉඩම් තක්සේරුකරණ පද්ධතියක් හඳුන්වා දීමත්, ඉඩම් වාර්තා ඩිජිටල්කරණය කිරීමත්, දේපළ ඔප්පු, හිමිකම් සහතික බවට පරිවර්තනය කොට සියලු ඉඩම් හිමියන්ගේ දේපළ අයිතිය තහවුරු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමත්, ඉඩම් ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම සඳහා පර්යේෂණ කටයුතුවලට සහාය දැක්වීමත්ය. රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් (e-State Land Information Management System – e-SLIMS) ඇති කිරීම දිගු කාලයක පටන් ඇති වී තිබූ අවශ්‍යතාවයකි. ඉඩම් කැබලි පිළිබඳ මූලික සිතියමක් නිර්මාණය කිරීමත්, රජයේ ඉඩම් e-SLIMS තුළට ඇතුළත් කිරීමත් හරහා, ඉඩම් පිළිබඳ අපැහැදිලිතා අවම කරමින් පරිසරය සුරැකීම සහ ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම අතර පවතින පරස්පරතා අවම කරගත හැකි වනු ඇත.
MCC බිල්ලෙකු නොවේ.

මෙම යෝජිත ව්‍යාපෘති හරහා අධිරාජ්‍යවාදී ඇමෙරිකානු ආක්‍රමණයක් සිදු වන්නේ කෙසේ ද? මෙම ව්‍යාපෘති, සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් බව ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකිය. එසේ තිබියදීත් අදෘශ්‍යමාන බිල්ලන් මවා MCC ව්‍යාපෘති නතර කිරීමට වෙර දැරීම අවස්ථාවාදී දේශපාලනය මිස අන් කිසිවක් නොවේ. සිය ජනාධිපති අපේක්ෂකයාගේ ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය සඟවාගෙන, MCC යනු, ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි ඇමෙරිකානු අධිරාජ්‍යවාදී බලවේගයක් යයි පැවසීම අතිශය වංචනිකය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියව සිටියදී, මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් එවකට ලැබීමට නියමිතව තිබූ MCC අරමුදල ලබා ගැනීමට මහත් අභිරුචියෙන් ක්‍රියාකළ බවත්, පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් හේතුවෙන් MCC අහිමි වී ගිය බවත් දැන් හෙළි වී තිබේ. එබැවින් දැන් බිල්ලෙකු ලෙස රූපාන්තරණය කිරීමට උත්සාහ ගන්නා MCC අරමුදල ලබා ගැනීමට එදා මහින්ද රාජපක්ෂ ද කැමැත්තෙන් සිටි බව පැහැදිලිය. ලාංකීය දේශපාලනයේ අවස්ථාවාදී බල තරගය තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්ය. සිය බල අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රදාන ද භයානක ඇමෙරිකානු ආක්‍රමණ ලෙස නම් කර, ජනතාව මුලා කරන අවස්ථාවාදී දේශපාලනයට අනිවාර්යයෙන්ම එරෙහි විය යුත්තේ එබැවිනි.




ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය 
රුහුණ විශ්වවිද්‍යාලය




සබැඳි පුවත්