''ඔවුන් බිය වන්නේ බලාපොරොත්තු සුන්වීම ගැන නොවේ'' - 'ද ගාර්ඩියන්' කියයි




''ඔවුන් බිය වන්නේ බලාපොරොත්තු සුන්වීම ගැන නොව රාජපක්ෂලා කුමක් කරනු ඇත්දැයි යන්න ගැනයි.''




මෙරට ජනාධිපතිවරණය අළළා එංගලන්තයේ 'ද ගාර්ඩියන්' පුවත්පත ඊයේ (14) දින පළකල කතුවැකියෙන් පෙන්වා දෙන්නේ සුළුතරයේ ජනයාගේ ඡන්ද මත සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තීරණය වනු ඇති බවත් එය එසේ නොවුවහොත්  ඔවුන් බිය වන්නේ බලාපොරොත්තු සුන්වීම ගැන නොව රාජපක්ෂලා බලයට පත්වී කුමක් කරනු ඇත්දැයි යන්න ගැනත්ය. 


එම සම්පූර්ණ ලිපිය, 

''එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රදානය කිරීමට යනවිට බලාපොරොත්තු සුන් වීමට වඩා නරක දේවල් පවතිනු ඇති බව ලාංකිකයින් වටහාගනීවි. 2015 ජනාධිපතිවරණය නව යුගයක ආරම්භය ලෙස ප්‍රකාශයට පත් විය. සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමගින් එක්වෙමින් මහින්ද රාජපක්ෂගෙන් ඉවත් විය. එම අවස්ථාව අහිමිවිය. අගමැතිධූරයෙන් රනිල් වික්‍රමසිංහව නෙරපා දමා සිය පැරණි සතුරා වන මහින්ද රාජපක්ෂව ඒ වෙනුවට  බලයට ගෙනඒමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීමත් සමග පාර්ලිමේන්තුවේ කැරලි ගැසීම් ඇතිවූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් රනිල් වික්‍රමසිංහව නැවත ධූරයේ පිහිටවීය. අයිඑස් ත්‍රස්තයින් විසින් බෝම්බ පිපිරීම් සිදුකර ඉන් පුද්ගලයින් 269 දෙනෙකු ඝාතනය වූ විට බුද්ධි අංශයේ  හා පොලීසියේ අසමත් බව අනාවරණය විය. 

රාජපක්ෂ පවුල මේ බිඳවැටීමත් සමග නැවත බලයට ඒම සිදුවිය. සිය සොහොයුරාගේ පාලන සමයේදී ආරක්ෂක ලේකම් ‍ධූරය දැරූ ගෝඨාභය - ‘ගෝඨා’, සිංහල බෞද්ධ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යටතේ පෙරට පැමිණියේය. ඔහුට එරෙහිව වධහිංසා හා දූෂණ චෝදනා තිබේ. සීමාවන් නිසා ජනපතිවරණයට ඉදිරිපත් විය නොහැකිව සිටින මහින්ද රාජපක්ෂ ඔහුගේ අගමැතිවරයා ලෙස පත්කිරීමට වුවමනා වී තිබේ. රාජපක්ෂ දශක ගණනාවක් පුරා පැවති යුද්ධය අවසන් කළ නමුත්, එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙන්නේ අවසන් මාස කීපයේදී සිවිල් වැසියන් 40,000 කට අධික ප්‍රමාණයක් ඝාතනය වූ බවයි. දෙමළ දේශපාලන නායකයින් ද ඝාතනයට ලක්වූ අතර ලාංකිකයින් දහස් ගණනක් අතුරුදහන් විය. 

රාජපක්ෂ තාක්ෂණික ප්‍රතිසංස්කරණයෙන් යුතු ආර්ථිකයන් උදාකරන බව පවසමින් ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරත විය. ඔහු දැඩි ජාතිකවාදී පුද්ගලයෙකුය.  ඔහු ජයග්‍රහණය කළහොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට ලංකාව සමග ඇතිකරගත් ගිවිසුම අවලංගු කරන බව පැවසුවේය. මුස්ලිම් විරෝධී පණිවිඩ පතුරුවා හැරූ බෞද්ධ ජාතිකවාදීන්ගේ සහය ඔහුට හිමිවී තිබේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු අත්දුටු මැර ප්‍රහාර හා වෛරය පතුරුවන සමාජ මාධ්‍ය අන්තර්ගත නිසා මුස්ලිම්වරුන්ට බිය වීමට සාධාරණ හේතු තිබේ. 

රාජපක්ෂගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නිවාස ඇමතිවරයා වන සජිත් ප්‍රේමදාසය. ඔහුගේ පියා දමිළ මරාගෙන මැරෙන ඝාතකයෙකු විසින් 1993 දී ඝාතනය කළේය. සිය නිපුණතා වෙනුවෙන් ජනතාව අතර ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති ප්‍රේමදාස තමන්ට ඇති ආරක්ෂක ගැටළු  පිළිබඳව ද අවධාරණය කර තිබේ.

ප්‍රේමදාසගේ මැතිවරණ ජයග්‍රහණය රැඳී පවතින්නේ සුළුතර ජනවර්ග මත වන අතර රාජපක්ෂ සිංහල ඡන්ද වලින් මෙම සුළුතර ජනවර්ග අතුගා දැමීමේ සූදානමින් සිටියි. කවුරු දිනුවත්, ලංකාවේ මිතුරන් ප්‍රජාතන්ත්‍රවාදයට සහය දිය යුතු වේ. මෙම ආණ්ඩුවේ ප්‍රධාන ජයග්‍රහණය වන්නේ එහි ව්‍යවස්ථාමය වෙනස්කම් වන අතර එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් තොරව වෙනස් කළ නොහැක. තමන්ට සැබෑ බලයක් ඇති බව ව්‍යවස්ථාදායකය හා අධිකරණය දැන සිටියි. සිවිල් සමාජය දැවැන්ත ඉඩක් වෙන්කර තිබේ. මෙම වාසි ආරක්ෂා කළ හැකිද ?. ප්‍රේමදාස ජයග්‍රහණය කළ යුතු යැයි කිසිවෙකුට විශේෂ බලාපොරොත්තු නැත. ජනගහනයෙන් 25% ක් වන වාර්ගික සුළුතරයේ බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මෙම ප්‍රගතිය ආපසු හැරවිය හැකි බවට පැහැදිලි අනතුරක් ගෙන එනු ඇති බවයි. ඔවුන් බිය වන්නේ බලාපොරොත්තු සුන්වීම ගැන නොව රාජපක්ෂලා කුමක් කරනු ඇත්දැයි යන්න ගැනයි.''