වෙල්ගමගේ අනතුරු ඇඟවීම

වෙල්ගම මහතා සඳහන් කරන මෙම කාරණය සත්‍යය නම්, ජනාධිපතිවරණයෙන් ගෝඨාබය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිධූරයට පත්වනු ඇත. 

කතුවැකිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ රැස්වීම සාර්ථක එකකි. දේශපාලනික වශයෙන් තම ඉහිතාසයේ බරපතළම කුණාටුවට හසු වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට එහි ජ්‍යෙෂ්ඨතම අනුශාෂිකාව වටා එකතු වී එවැනි සමුළුවක් පැවැත්වීමට හැකි වීම එම පක්ෂය ලැබූ අහිංසක ජයග්‍රහණයක් ලෙස පෙනේ. සමුළුවේදී ඉදිරිපත් කළ අදහස් වල ඇත්ත ස්වභාවය ඊයේ සවස එස්.බී. දිසානයක තම මැරවරයින් ලවා සිදුකළ කටයුත්තෙන් මුළු රටටම ඔප්පු විය. මෙය ආරම්භයක් පමණි.

වෙල්ගම

භීතිය, වැඳුම් පිළිවෙත ( වන්දනාව) බවට පත් වී වහල්බව තම පරම විනෝදය බවට පත් වූ විට ඕනෑම සමාජයකට අත්විඳීමට සිදුවන ඉරණම මෙයයි. එම මුලාවෙන් තාවකාලීකව හෝ මිදීමට ඛේදවාචකයක් අවශ්‍යය වන බව අපට අපේ ඉතිහාසය විසින් උගන්වා ඇත්තේ අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමට නොයන මමත්වයෙන් පෙළෙන දූපත් මානසිකත්වයෙන් හෙබි "ප්‍රෞඩ" පුරවැසියන් පිරිසක් වන හෙයිණි. අපට ඉතිරි වී ඇත්තේ හිස් පුරසාරම් දෙඩීමට ඇති ඉඩ පමණි. 

ඊශ්‍රායල දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන කාර්යය භාර්යයක් සිදු කරනු ලැබූ දේශපාලනඥයෙකු මෙන්ම රාජ්‍යය තාන්ත්‍රික නිලධාරියෙකු වූ අබා ඒබන් 1970 දී ලන්ඩන් නුවරදී පැවැත් වූ කතාවකදී  ඉතාම වැදගත් අදහසක්  මතු කරනු ලැබීය. " මිනිසුන් සහ ජාතීන් අනෙකුත්  සියලු විකල්පයන් වලින් වෙහෙසට පත් වූ පසු ඥානවන්ත ලෙස හැසිරෙන බව ඉතිහාසය විසින් උගන්වා ඇත, ( History teaches us that men and nations behave wisely once they have exhausted all other alternatives)" ඔහු කිව්වේය. 

මේ අනුව පෙනෙන්නේ ශ්‍රී ලංකාවට රටක් ලෙස ඥානවන්තව හැසිරීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. අපට අපේ ඥානය සෝදාපාලු කර ගැනීම සඳහා බොහෝ විකල්ප ඇත. අලුත්ම විකල්පය බවට MCC ආයතනය විසින් ලබා දීමට නියමිත ආධාර මුදල පත්වී තිබේ. ඊට එරෙහිව කතා කරණ ඉහල ඇවරියේ සිටින බොහෝ ඇත්තන් සහ ඔවුහුගේ පවුලේ සාමාජිකයින් ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඔස්ට්‍රේලියාව වැනි බටහිර රටවල පුරවැසියන් මිස චීනයේ පුරවැසියන් නොවෙති. නමුත් ඔවුහු "අධිරාජ්‍යයවාදයට" විරුද්ධය. මේ ඇත්තන්ගේ මේ ගතිය, වෙන කිසිවක් නොව මහා ගත්කතු මාටින් වික්‍රමසිංහයන් විසින් හැඳින්වූ සිංහලයින්ගේ පරම්පරාගත "කුහකකමයි". 

විවිධාකාර හිස්  "විකල්පයන්" සමග පොරබදිමින් තම ජීවිත වෙහෙසට පත්වූ පසු, අපට කවදා හෝ දිනක ඥානවන්ත ලෙස හැසිරිය හැකිය.නමුත් විවිධාකාර  විකල්පයන් වෙතට ජන මනස තල්ලු කොට තමාගේ ගත මනාව සහ තම පරම්පාරාවේ සුව පහසුව කෙසේ හෝ තනා ගැනීමට මෙම සිදුවීම් හසුරුවන්නා දනිති. රණවිරුවන්ගේ "මාරාන්තික උපවාසය" නතර වූ ආකාරය, විවිධ සම්ගම් විසින් මෙහෙය වනු ලැබූ වර්ජන රැල්ල අවසන් වූ ආකාරය, මීට කදිම සාක්ෂි සපයන්නේය.  

මෙවැනි වටපිටාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සම්මේලනය වැදගත් දේශපාලන කියවීමක් ලබා දෙනු ලබයි. එහිදී ඉදිරිපත් කළ අදහස් ගැන පුළුල් විමසීමක් අවශ්‍යය වේ. ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස මුහුණ දෙමින් සිටින දේශපාලන කඩඉම නිවැරදිව තේරම් ගැනීමට සමත් වූ පිරිසක් ලෙස ඊට සහභාගී වූ පිරිස හැඳින්විය හැකිය. ඔවුහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වී ඇති ඛේදජනක ඉරණම තුළින් සමස්ථ රටට අත්වීමට යන ඉරණම දකිති. 

එහිදී අදහස් ඉදිරිපත් කළ කුමාර වෙල්ගම මහතාට අනුව, "මෑතකදී වෙනස් කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, එම පක්ෂය කිසියම් ජනාධිපතිවරණයක හවුල්කාර පක්ෂයක් වන්නේ නම්, එම හවුල්කාර සන්ධානය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අවශ්‍යය කොන්දේසී සපුරා  ජයග්‍රහණය කොට රටේ ජනාධිපතිධූරයට පත්වනේ නම් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වන්නේය." 

වෙල්ගම මහතා සඳහන් කරන මෙම කාරණය සත්‍යය නම්, ජනාධිපතිවරණයෙන් ගෝඨාබය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිධූරයට පත්වනු ඇත. ඊට සමාන්තරව ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා බවට මේවන විටත් පත්වී ඇත. එසේනම්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අනාගතය තීරණය වීමට නියමිත හැඩතලයන් තේරුම් ගැනීමට පාද සටහන් ( ෆුට් නෝට්) අවශ්‍යයද? එසේ නොවේනම්, කටමැද දොඩවන එම පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතුකරනු ලබන දයාසිරි ජයසේකරයේ "ලොරි ටෝක්ස්" අවශ්‍යයද?