''අගමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව හෙට ජනපතිට දැනුම් දෙනවා'' - රනිල්


අගමැති රනිල් වික්‍රමසිංහ අද (20) දිනයේදී සිය ධූරයෙන් ඉවත්වෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන බවත් එයට ගරු කරන බවත් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් හෙට ජනාධිපතිවරයාට දැනුම් දෙන බවත්ය.


අගමැති රනිල් වික්‍රමසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශය,

''පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් ලද එක් ප්‍රතිඵලයක්. 

අප කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි.

මම 19 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.

පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. 

මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට (21) ජනාධිපතිතුමාට දැනුම් දෙනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහාසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා. 

මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමනවා.

මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා.'' යන්නයි.