පොදු දේපල අවභාවිතය ගැන කියන්න TISL වෙතින් ඇමතුම් අංකයක්




රාජ්‍ය නිලධාරීන්ටත් අනතුරු ඇගවීමක් 

මැතිවරණ ප්‍රචාරණය සඳහා පොදු දේපල අවභාවිතා කිරීම සම්බන්ධ පැමිණිලි ලබාදීමට ක්ෂණික ඇමතුම් අංක දෙකක් මහජනතාව වෙනුවෙන් විවුර්ථ කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඊයේ (8) දින පියවර ගනු ලැබුවා. 076 322 3662 හෝ 076 322 3442 යන දුරකථන අංක වලට ඇමතීමෙන් හෝ pppr@tisrilanka.org විද්‍යුත් ලිපිනය හරහා පැමිණිලි ලබාදීමේ හැකියාව ඇත. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ අංශය වන පොදු දේපල සුරැකීමේ වැඩසටහන  (PPPR),මැතිවරණ නිරීක්ෂණ ආයතනයක්  වශයෙන් 2002 වර්ෂයේ සිට සුවිශේෂී මෙහෙවරක් ඉටු කොට ඇති අතර, පොදු දේපල අවභාවිතය  සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලබන  එකම මැතිවරණ නිරීක්ෂණ  ආයතනයද වන්නේය. 2019 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්  PPPR වැඩසටහන, දිස්ත්රික් මට්ටමින් මැතිවරණ  නිරීක්ෂකයන් 25 දෙනෙකු පුහුණු කිරීමට කටයුතු කල අතර, ඔවුන්  රට පුරා ඇති සෑම මැතිවරණ කොට්ඨාෂයක්ම නියෝජනය වන පරිදි  නිරීක්ෂකයන් 160ක් සම්බන්ධීකරණය කරනු ඇත. 

TISL ආයතනය සියලුම අපේක්ෂකයන්ට, දේශපාලන පක්ෂවලට, රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට දන්වා  සිටින්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද රෙගුලාසි හා චක්‍රලේඛනයන්ට අනුකූලව කටයුතු කිරීමට කල්පනකාරී වන ලෙසයි. 2019 සැප්තැම්බර් 19 දින අංක 2141/52 දරන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සුවිශේෂී  ගැසට් නිවේදනයේ අඩංගු උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. මෙම ගැසට් නිවේදනය මගින්  රාජ්‍ය නිලධාරීන් කටයුතු කල යුතු ආකාරය,රජයේ වාහන හා  ගොඩනැගිලි  භාවිතය සහ විශේෂ උත්සව අවස්ථාවන් සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා ඇත. 

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර ප්‍රකාශ කර සිටියේ ‘පළාත් පාලන අධිකාරී ආයතනයන්ගේ සිට රාජ්‍ය සංස්ථා දක්වා ආයතනයන්හි සේවය කරනු ලබන සියලුම රාජ්‍ය නිලධාරීන්, මෙම මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ඇති ලිහිල් නොවන දඩුවම් පිළිබඳව දැනසිටීම ඉතාම වැදගත් වන බවයි. මැතිවරණ කොමිෂන් සභාව දක්වා ඇති නීති රීතින් කඩ කිරීම,ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104GG වගන්තියට අනුව රාජ්‍ය නිලධාරීන් වසර 3ක සිර දඩුවමකට යටත් කිරීමේ හැකියාව පවතී. 

පසුගිය කාලය තුළ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පවා වරදකරුවන් කිරීමට හේතු වූ , මැතිවරණ සමයේ රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ සිදුවීම් පිලිබඳ රාජ්‍ය නිලධාරීන් ඉතාමත් කල්පනාකාරී වීම වැදගත් වේ.  එම  උදාහරණයන් එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැලක්වීමට හේතු වනු ඇති බවට අප උදක්ම අපේක්ෂා කරන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතූවන්ට දේශපාලන මැදිහත් වීම් වලින් ආරක්ෂා වීමට එය පිටුබලයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.