පොලීසියට උපාධිධාරීන් එපා වෙලාද ?


2004/2005 වසරවල එවකට රජය විසින් ක්‍රියාත්මක කළ උපාධිධාරීන් සඳහා පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ 2005.01.03 වන දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රජා සම්බන්ධතා නිලධාරීන් ලෙස උපාධිධාරීන් 398ක් බඳවා ගත් අතර ඔවුන්ට මාස 5 ½ ක මූලික පොලිස් පුහුණුවක් කළුතර පොලිස් විද්‍යාලයේදී ලබා දෙන ලදි. ඉන් අනතුරුව පුහුණු වූ නිලධාරීන් පොලිස් ස්ථානයන්ට සහ පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරන ලද අතර ඉන් බහුතරයක් විවිධ අර්බුදකාරී වාතාවරණයන්ට මුහුණ දීමට සිදු වීම මත පොලිසිය හැර ගොස් ඇත. දැනට සේවයේ යෙදී සිටින්නේ නිලධාරීන් 100කටත් අඩු ප්‍රමානයකි.

මෙම නිලධාරීන් ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ පොලිස්පතිවරුන් යටතේ බොහෝ වෙහෙසකර කාර්යයක නිරත ව ඇති අතර යුධ සමයේදී ද කැපී පෙනෙන සේවයක් ඉටු කර ඇත. ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය තුළ වෙනම කොට්ඨාසයක් ස්ථාපිත කිරීමෙන් පසු ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජා පොලිස් අංශයන් ආරම්භ කරන ලද අතර මෙම උපාධිධාරී ප්‍රජා සම්බන්ධතා නිලධාරීන් ද එම අංශයන්ට අනුයුක්තව සේවය කරන ලද අතර 2016 වසරේ සිට ප්‍රජා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස හඳුන්වා දෙන ලදි.

රාජ්‍ය සේවය තුළ නිලධාරීන් සේවා කාලයත් සමග ඉහළට ගමන් කළ ද මෙම නිලධාරීන්ගේ තනතුර පහළට ගමන් කිරීමක් විද්‍යමාන වේ. 2005.01.03 වන දින උපාධිය මූලික සුදුසුකම ලෙස සලකා බඳවාගත් මෙම නිලධාරීන්ගේ අධීක්ෂණ නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ අතර වසර 15ක සේවා කාලයෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ අධීක්ෂණ නිලධාරියා ලෙස නම් කොට මෙම උපාධියෙන් බඳවාගත් තනතුර පහත හෙළා ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම අනෙකුත් රජයේ ආයතන, අර්ධ රාජ්‍ය ආයතන සඳහා ද උපාධිධාරීන් බඳවා ගන්නා ලද අතර උගතුන් සහ බුද්ධිමතුන්ගේ සේවය එම ආයතනවලට අවශ්‍ය බව පෙන්නුම් කරමින් එම නිලධාරීන් උපාධියට සරිලන තනතුරුවලට සුදුසු පරිදි අන්තර් ග්‍රහණය කර ඇත.

උදා :- ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලලත් නිලධාරී තනතුර

පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා කළුතර පොලිස් විද්‍යාලයෙන් මාස 5 ½ ක මූලික පොලිස් පුහුණුවක් ලබා වසර 15කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් සංකල්පය ක්‍රියාත්මක කිරීම සහ අනෙකුත් වැදගත් රාජකාරීවල නිරතව සිටින මෙම නිලධාරීන් පෙර කී පරිදි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම සඳහා කටයුතු සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා පොලිසිය සංවෘත්ත සේවාවක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ද සහායක සේවයක් යටතේ විවිධ තරාතිරම්වල නිලධාරී සේවය කරන බැවින් ද මෙම උපාධිධාරීන් ඊට අන්තර්ග්‍රහණය කර උගත්කම සහ පළපුරුද්ද සහිත මෙම නිලධාරීන්ගේ සේවය ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා ගැනීම කිසිඳු ගැටළුවකින් තොරව කළ හැකි වුව ද පැහැදිලිව නොපෙනෙන කුමන හෝ හේතුවක් මත එසේ කිරීමට දැඩි විරෝධයක් පෙන්නුම් කෙරේ.

2012.01.01 දින නිකුත් කරන ලද පොලිස්පති චක්‍රෙල්ඛ අංක 2327/2011 පරිදි මෙම උපාධිධාරී නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ/ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස දක්වා ඔවුන්ගේ විනය බලධාරීන් කවුරුන්ද යන්න ද පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව ඔවුන් ඒකාබද්ධ හෝ වෙනත් සේවාවකට අයත් නොවන බව ද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් බව ද මැනවින් පැහැදිලි වේ.

මෑත කාලීනව සියලුම රජයන් විසින් පොලිසියේ සියලුම තරාතිරම්වල නිළධාරීන්ට උසස්වීම් ලබා දුන් අතර පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්ට ද ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පවා නොතකා උසස්වීම් ලබා දී පොලිස් කොස්තාපල් තනතුරට පත් කරන ලදි. කෙසේ වුවද උපාධිධාරී සංවර්ධන සහකාර නිලධාරීණ් සඳහා කිසිඳු උසස්වීමක්, දීමනා ලබා දීමක් සිදු කිරීමට කටයුතු කර නැති අතර වසර 15ක සේවාකාලයක් සහිත මෙම නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත සේවය ලබා ගැනීම සම්බන්ධ කිසිඳු වැඩපිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කර නැත.