‘‘මම හමුදාවට නායකත්වය දුන්නේ නෑ‘‘ - ගෝඨාභය



තමා මෙන්ම තම සොහොයුරා ද හමුදාවට නායකත්වය නොදුන් බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ අද (15) දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් "ද හින්දු" පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

මීරා ශ්‍රීනිවාසන් මෙහිදී  ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටියේ,

"හමුදාවට භාරවීමෙන් පසුව අතුරුදන් වූවන් ගැන ජනතාව ප්‍රශ්න කරනවා, යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයා වශයෙන් ඔබ මොකද්ද ඒ ගැන කියන්නෙ ?  කෝ ඔවුන් ?" යන්නයි. 

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ, 

"ඔබට වැරදිලා, මම හමුදාවට නායකත්වය දුන්නේ නෑ" යන්නයි. 

"එහෙනම් ඔබේ සහෝදරයා ?" යනුවෙන් විමසද්දී "නෑ, නෑ, හමුදාවට නායකත්වය දෙන්නේ හමුදාපති"  යනුවෙන් පැවසුවේය. 

ගෝඨාභය රාජපක්ෂ,  මීරා ශ්‍රීනිවාසන් විමසූ ප්‍රශ්නය සිනාවකින් බැහැර කළ ද ඔහු මෙන්ම ඔහුගේ සොහොයුරා ද තවමත් සිය මැතිවරණ වේදිකාවලදී උත්කර්ෂයට නංවන්නේ යුද්ධයයි. 

‘ගෝඨාස් වෝර්‘ නමින් කෘතියක්ද සම්පාදනය කරමින් යුද්ධයේ අයිතිය සින්නක්කරව පවරාගත් මොවුන් ජාත්‍යන්තරය හමුවේ එල්ල වන අභියෝග වලදී පවසන්නේ තමන් යුධ ජයග්‍රහණයේ උරුමකරුවන් නොවන බවයි..