තොරතුරු මාසයේ සමාප්ති උත්සවය හෙට



සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනය වෙනුවෙන් 2019 සැප්තැම්බර් මස 15 දින සිට ඔක්තෝම්බර් මස 15 දින දක්වා කාලය තුළ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කළ තොරතුරු මාසය අවසන් කරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන එහි සමාප්ති උළෙල හෙට (15) දිනයේදී පෙරවරු 8.30 ට අමාත්‍ය රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 14 (අ) වගන්තිය මගින් තොරතුරු සඳහා ප්‍රවේශවීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් බවට නීතිගත කර තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය ලොව පුරා ක්‍රියාත්මක වීමත් සමග යුනෙස්කෝ සංවිධානය විසින් 2015 නොවැම්බර් 17 වන දින සම්මත කරන ලද 38 ක්‍/70 යෝජනාව මගින් සෑම වසරකම සැප්තැම්බර් මස 28 වන දින තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම නීතියෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පුරවැසියන් තම පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගිය පොදුජන යහපතට අදාළ වන තොරතුරු ඉල්ලුම් කෙරෙහි නැඹුරු විය යුතු බව අවධාරණය වී ඇත. ඒ සඳහා ‘මහජනතාව දැනුවත් කිරීමේ වසර’ යන තේමාව යටතේ 2018 වර්ෂය තුළ විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලද අතර, 2019 සැප්තැම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව ද, රාජ්‍ය ආයතන විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

මේ අනුව පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු තොරතුරු පනතට අදාළ ක්‍රියාකාරකම් රැසක් මෙම තොරතුරු මාසය තුළ සෑම රාජ්‍ය ආයතනයක් විසින් ම ක්‍රියාවට නගනු ලැබේ. එම තොරතුරු සතිය නිමාවට පත්කරමින් ඉහත සමාප්ති උත්සවය පැවැත්වේ.