සියල්ල කනපිට හැරුණු විට වල් වදින නීතිය

මෙම ඉතිහාසයේ උත්ප්‍රාසය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපති බලය වැනි පට්ටා ගසා ඇති සරුව පිත්තල වදන්වලින් ආත්මාඩම්බරයක් ඇති කර ගැනීමේ උත්සාහයයි. 

මහින්ද හත්තක

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි අයිතිය ලබා දීමේ නිත්‍යානුකූල භාවය ප්‍රශ්න කරමින් අභියාචනා අධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම ඒකමතිකව නිෂ්ප්‍රභ කළ බව පසුගිය සති අන්තයේ දී ප්‍රකාශයට පත් විය. අධිකරණය එම තීරණය ගනු ලැබුවේ කුමන කරුණු පදනම්ව ද යන්න පසුව දැනුම් දෙනු ඇත. එහෙත් ප්‍රකාශයට පත්ව ඇති සමහර වැදගත් කරුණු ගැන රටේ පුරවැසියන් වශයෙන් අපට ප්‍රශ්න ගණනාවක් මතු වේ. එය අධිකරණයෙන් විසඳා ගත හැකිද යන්න වෙනම කාරණයකි.


මේ රටේ සාමාන්‍ය පුද්ගලයකුට පුරවැසි හැඳුනුම්පතක් හෝ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී මුහුණ දෙන ගැටලු ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. එක් දින සේවයක් මගින් ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය සැලකිය යුතු මුදලක් ගෙවා ලබා ගත හැකි වුවද ඊට අදාළ අනෙකුත් ලිපි සහ ලේඛන සකසා ගැනීමට සමහරවිට සති ගණන් හෝ මාස ගණන් ගත විය හැකිය. විශේෂයෙන් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම මාස ගණන් නොව අවුරුදු ගණන් ගතවන ක්‍රියාවලියක් බව අත්දැකීමෙන්ම අපි දනිමු. එවැනි පසුබිමක් යටතේ ගෝඨාභය මහතාට දින කිපයක් ඇතුළත එම සහතිකය ලබා ගැනීමට හැකි වූයේ අන් කිසිවක් නිසා නොව සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුර දැරීම නිසා බව පැහැදිලි ය. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වැනි දින ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් අතර ඔහුගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමේ සහතිකයට නොවැම්බර් 21 දින අත්සන් තබා ඇත.

රටේ ජනාධිපතිවරයාට තම සොහොයුරාට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමේ සහතිකය අත්සන් කිරීමට සිදුව ඇත්තේ ඒ වන විට නව කැබිනට් මණ්ඩලය පත් කර නොතිබු නිසා ය. නව කැබිනට් මණ්ඩලය පත් කර ඇත්තේ නොවැම්බර් 24 වැනිදා ය. එවකට පැවති ආාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයාට කුමන හෝ ඇමති තනතුරක් දැරිය හැකි නිසා මෙම සහතිකය නිකුත් කිරිමේ දී එම විෂය බාර ඇමතිවරයා වශයෙන් ඔහු අත්සන් තබා ඇති බව හෙළිවී ඇති අතර එහි නිත්‍යානුකූල භාවය අධිකරණයෙන් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා කිසියම් ඇමති තනතුරක් පිළිබඳ වගකීම භාර ගැනීමේ දී ඒ සඳහා දිවුරුම් දිමක් අවශ්‍ය නොවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ සියලු වගකීම් ඔහුට අනිවාර්යෙන් පැවරෙන නිසාය. ඇමතිවරුන් පත් කිරීමේ දී ඔහු කරන්නේ තම වගකීමෙන් කොටස් පැවරීමක් පමණි. එම නිසා මෙම සහතිකය නිකුත් කිරීමේදී ඔහුට ඇමතිවරයා වශයෙන් එහි අත්සන් තැබීම නිත්‍යානුකූලභාවය ගැන ගැටලුවක් විය නොහැකිය.

මෙවැනි පහසුකමක් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි වෙනත් පුද්ගලයකුට ලබා දී ඇති බවක් වාර්තා නොවන නිසා මෙය විශේෂ අවස්ථාවක් බව සිතා ගත හැකිය. එය සුවිශේෂ අවස්ථාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසි භාවය ඉල්ලා අයදුම් පත්‍රයක් ලබා දී ඇති බවට කිසිදු තොරතුරක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව දැනට එම විෂය භාර ඇමති වජිර අබේවර්ධන මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මාර්ගයෙන් උසාවියට සැලකර සිටීමෙනි. ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට නොව සාමාන්‍ය හැඳුනුම් පතක් ලබා ගැනීමේ දි පවා ග්‍රාම නිලධාරියාගේ සහතික කිරීම මත ඉදිරිපත් කරන අයදුම් පත් වසර ගණනාවක් ම සුරක්ෂිතව පවතින නිසා එවැනි අයදුම් පතක් ඉදිරිපත් නොවුවා විය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සොහොයුරා වෙනුවෙන් එවැනි සහතිකයක් ලබා දීමේ දී අයදුම් පතක් අවශ්‍ය නොවන්නේ තමා එය සියල්ල පෞද්ගලිකව දන්නා කරුණු නිසා විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් විධායක ජනාධිපතිවරයෙකුට කළ නොහැකි වන්නේ ගැහැනියකු පිරිමියෙකු කිරීම පමණයැයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන මහතා පැවසු බව අපට සිහිපත් වේ.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේදි හුදී ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිපැද තිබේද යන්න එතරම් වැදගත් නොවේ. ඒ විධායක ජනාධිපතිවරයාට කළ නොහැකි දෙයක් නැති නිසාය. විධායක බලය යටතේ කළ නොහැකි කටයුතු කර ගැනීමට අවශ්‍ය වූ විට ගත හැකි ක්‍රියා මාර්ග ද ඇත. හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කර ගැනීමට යොදා ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම දක්වා ඇති ක්‍රියා මාර්ගයකි. පාර්ලිමේන්තුවේ බහුතරයකගේ යෝජනා සම්මතයෙන් එම අග විනිසුරුවරිය ඉවත් කෙරිණ. දැනට විධායක බලය නැති මහින්ද රාජපක්ෂ මහතා තමා එය ක්‍රියා මාර්ගය ගත්තේ ‘නිත්‍යානුකූලව යැයි මීට ටික කලකට පෙර සඳහන් කෙළේය.

දෝෂාභියෝගය පිළිබඳව විභාගය පැවති ආකාරය ගැන විවිධ ප්‍රශ්න මතු කළ හැකි නමුත් වැදගත් වන්නේ විභාගයක් පැවතීම සහ අනතුරුව පැවති ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 155ක් ලැබීමෙන් සම්මත වීමය. මෙම යෝජනාව නිසි පරිදි ඉදිරිපත්ව නැති බවට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් මතු කළ විරෝධය ද වැදගත් වූයේ නැත. සත්‍ය වශයෙන්ම වැදගත් වූයේ විධායක ජනාධිපතිගේ අණසකට යටත් නොවන අග විනිසුරුවරිය එම තනතුරෙන් ඉවත් කිරිම සඳහා අවශ්‍ය “සහයෝගය’‘ ලබා දීම පමණි. එය විධායකයේ අවශ්‍යතාවය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැනවින් දැන සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති තනතුර දැරු සමයේ සියල්ල සිදු වූයේ ඒ ආකාරයෙනි. ඊට වෙනස් මාර්ග සොයා ගැනිමට හෝ ඒවා විවේචනය කිරීමට, ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූ අයට අත් වූ ඉරණමට නිදසුන් අපමණ ය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රිඩක තජුඩීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වැනි අයට එවැනි ක්‍රියා මාර්ග සොයා යෑම නිසා වන්දි ගෙවීමට සිදු වූයේ සිය ජීවිත වලිනි.

මෙම ඉතිහාසයේ උත්ප්‍රාසය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ පරමාධිපති බලය වැනි පට්ටා ගසා ඇති සරුව පිත්තල වදන්වලින් ආත්මාඩම්බරයක් ඇති කර ගැනීමේ උත්සාහයයි. ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කිරීම පිළිබඳව ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාත් පොහොට්ටුවේ අනෙකුත් නායක කාරකාදීනුත් මහත් උත්කර්ෂයට පත් වූයේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන ය. ඉන් කෙතරම් උද්දාමයට පත් වූයේද යත් අධිකරණ ශාලාව තුළම සිය ප්‍රීතිය ප්‍රකාශ කිරීමට තරම් මෙම පිරිස සුවච වූහ.

මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පළ වූ ප්‍රමෝදයක් පමණක් නොවේ. එය දැනට වැඩ තහනමට ලක්ව සිටින සොලිසිටර් ජනරාල්වරිය දිල්රුක්ෂි වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද දක්නට ලැබිණ. ඇය අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරිය වශයෙන් සිටියදී කරන ලද දුරකතන සංවාදයක් පදනම් කර ගෙන වැඩ තහනම් කිරීම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු කණ්ඩායමේ දැඩි විවේචනයට ලක් විය. ඔවුන් විවේචනය කෙළේ හිතට එකඟව වැඩ කරන නිලධාරීන්ගෙන් යහපාලන රජය පළිගැනීමයි. මෙම ආණ්ඩුව කිසිම නිලධාරියෙකුට ස්වාධීනව, අපක්ෂපාතීව වැඩ කිරීමට ඉඩක් දෙන්නේ නැත. මෙම පළිගැනීමේ ලැයිස්තුවට තනතුරෙන් ඉවත් කරන ලද තවත් නිලධාරියෙකු වූ සුහද ගම්ලත් මහතා ද එක් වූයේය.

මෙම හරබර දෙසුම් ඇසෙන විට අප අමතක කළ යුතු කරුණු ද පවතී. ඉන් එකක් වන්නේ වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිනිය වශයෙන් සිටිය දී ඇයගේ ක්‍රියා කලාපය ගැන මහින්ද රාජපක්ෂ මහතා සහ දූෂණ හා අල්ලස් චෝදනා එල්ල වූ අනෙකුත් හිටපු ඇමතිවරුන් තදින් කළ විවේචනය යි. ඇය පක්ෂග්‍රාහීව සහ අගතිගාමිව කටයුතු කරන බවට පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් විවේචන, චෝදනා සහ ගැරහුම් එල්ල විය. අවසානයේ දී ජනාධිපතිවරයාට ඇය එම තනතුරෙන් ඉවත් කිරීමට සිදු විය. එහෙත් ඇය වැඩ තහනමට ලක් කිරීම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂය හැඳින් වූයේ පළිගැනීමක් සහ රජයේ සේවකයන්ට අවංකව සිය කටයුතු කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති අනතුරක් සේය. සතුරා වුවත් විපතට පත් වු විට අනුකම්පා කිරීමේ පදනම යටතේ මෙවැනි පියවර ගන්නේ නම් බෞද්ධ රටක අපට එය තේරුම් ගත හැකිය. එහෙත් සැබැවින්ම සිදු වූයේත් සිදු වන්නේ කුමක් ද?

පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ලබා ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව කඩි මුඩියේ සම්මත කර ගත්තේ විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ඒකාධිපතියෙකු ලෙසින් කටයුතු කිරීමේ ඉඩ පහසුකම් ලබා ගැනිමට ය. නමසිය අසූවේ දී රුපියල් තුන්සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනය කළ රාජ්‍ය සේවකයන් 60,000කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කෙළේ නීතිමය ප්‍රතිපාදන ඉක්මවා ගිය බලහත්කාරය යොදා ගනිමිනි. එම සේවකයන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ තනතුරුවලට සිය පාක්ෂිකයන් පත් කර ගත්තේ ද එවකට පැවති බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි අනුව නොවේ. එය ඒ වන විටත් පිරිහීමට පත්වෙමින් තිබු රාජ්‍ය සේවය මහත් අගාධයකට පත් කිරීමකි. ඒ. ආර්. (පරිපාලන රෙගුලාසි) සහ එෆ්. ආර්. (මුදල් රෙගුලාසි) වෙනුවට ජේ. ආර්. රෙගුලාසි ආදේශ වූයේ එම නිසාය. එම පිරිහීමේ කූටප්ප්‍රාප්තිය විධායක ජනාධිපතිවරයකුට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නීතියක් ලෙස පිළිගැනීමයි. එවැනි තත්ත්වයක් යටතේ අයදුම් පතක් ඇතිව හෝ නැතිව කිසියම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය නොව ඊට වඩා වැඩි යමක් දුන්නත් වරදක් විය නොහැකිය. සියල්ල සිදු වන්නේ විධායක ජනාධිපතිගේ කැමැත්ත අනුවය යන්න පොදු පිළිගැනීම වී ඇති නිසාය.

මෙම ක්‍රමය රටේ බහුතර ජනතාවගේ අප්‍රසාදයටත් පිළිකුළටත් ලක් වුවකි. එය සනාථ වන්නේ පසුගිය සෑම ජනාධිපතිවරණයකදීත්, පාර්ලිමේන්තු මැතිවරණයකදීත් මෙම ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයැයි ජනතාව හඬ නැගීමෙනි. පසුගිය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය පවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ වේදිකාවට ගොඩ වූයේ එය ඔවුන්ගේ දේශපාලන පැවැත්මට තර්ජනයක් වූ නිසාය. ඒ සඳහා සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීම ඇතුළු පියවර කීපයක් ගත් නමුත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කර ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවංක උත්සාහයක් ගත්තේ නැත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමා කිරීමට ගත් උත්සාහයක් වුවද එහි බරපතළ අඩුපාඩුකම් පවතී. ඊට එක නිදසුනක් වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කිරීම ය. පසුව එය ප්‍රමාණවත් විසඳුමක් නොවන නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වූයේය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් වැලකී ගිය ද රෝගය සුව වූයේ නැත. ගෝඨාභය රාපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ද විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ කාරණයකි.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් බිහි කරන ලද විධායක ජනාධිපති ක්‍රමය විිධායකය විසින් ව්‍යවස්ථාදායකය හැසිරවීමට පමණක් නොව අධිකරණයේ උසස් විනිශ්චයකරුවන් පත් කිරීම තුළින් අධිකරණයට ද විවිධ ආකාරයෙන් බලපෑම් කළ හැකි ආයතනයකි. සාවද්‍ය ලෙස ගෙන එන ලද දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය උත්තරීතර නමින් පළ කළ කෘතියේ සඳහන් කරන ආකාරයට ඇය දිවුරුම් දුන් අවස්ථාවේදීම එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාට අධිකරණ කොමිසමේ පුරප්පාඩු වී ඇති ලේකම් තනතුරට පත් කරන අය ගැන දැන ගැනීමට අවශ්‍ය වී ඇත. එය හුදෙක් දැන ගැනීමක් පමණක් නොව ඔහුට අවශ්‍ය පුද්ගලයා එම තනතුරට පත්වන්නේ ද යන්න තහවුරු කර ගැනීමට නගන ලද ප්‍රශ්නයකි. එයින් නැවත වරක් තහවුරු වන්නේ විධායක ජනාධිපතිට විධායකය හා ව්‍යවස්ථාදායක පමණක් නොව අධිකරණය සම්බන්ධයෙන් ද තම බලය සහ ආනුභාවය පැතිරවීමට හැකි තනතුරක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාවයයි. එවැනි ක්‍රමයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් කඩතුරාවක් පමණි. සුදු වෑන් රථයකට එම අයිතිවාසිකම් සියල්ල පැහැර ගෙන ගොස් ගැඹුරු මුහුදේ ගිල්වා දැමිය හැකිය.

ව්‍යවස්ථාපිත නීතිය නොසලකා හැරීම දේශපාලන සංස්කෘතියේ මුල් බැස ගත් ප්‍රබල සාධකයක් බවට පැහැදිලි සාක්ෂියක් රාජන් හූල් ඔහුගේ Sri Lanka’s Easter Tragedy- When the Deep State gets Out of Its Depth  කෘතියේ දක්වා ඇත. ඔහු පොලිස් ආඥා පනත උපුටා දක්වමින් පොලිස්පති ව්‍යවස්ථාපිත බලධාරියා වන අතර සෑම පොලිස් නිලධාරියකුටම අපරාධයක් වැළැක්වීමට, සාමය ආරක්ෂා කිරීමට ආදී වශයෙන් පුළුල් බලතල හිමි බව පෙන්වා දේ. එම ආඥා පනතේ 56 වගන්තිය අනුව පොලීසිය සැකසී ඇත්තේ ධූරාවලිය අනුව නොවේ. නිලධාරීන් වෙනස් වන්නේ පරිපාලනමය වශයෙන් පමණි. සෑම පොලිස් නිලධාරියකුම සිය රාජකාරි ඉටු කිරීමේ දී සමානව වගකිව යුත්තේ නීතියට පමණි. එහෙත් භාවිතයේ දී සිදුව ඇත්තේ කුමක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත. ඉතාමත් පුළුල් අර්ථයකින් මෙය පොලීසියට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම පොදු කරුණකි. සියල්ල උඩියටිකුරු වී ඇත. ඒ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන ආකාරයට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද තමන්ට අවශ්‍ය දේ කිරීමට ගෝඨාට හැකිය. එවිට අධිකරණයෙන් සහන බලාපොරොත්තු වීම දවල් සිහිනයක් වනු ඇත.