''නිවැරදි පැත්තට රට ගෙනියන්න එක්වෙන්න'' - නිර්මලා



'ගොඩනැගෙන ඇගේ බලය අපේක්ෂාව කරා' යන මැයෙන් ජාතික ජන බලවේගයේ ස්ත්‍රී ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ (20) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී අදහස් දැක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් ආරාධනා කර සිටියේ රට නිවැරදි අතට ගෙනයාමට සියලුදෙනාම එක‍තුවිය යුතු බවයි. 



මම අවුරුදු තිහක් බලාගෙන හිටියා

“මම කිසිම දේශපාලන කටයුත්තක මේ වෙනකම් අත පොවල නැහැ. ඒත් දැන් වියපත් කාන්තාවක් විදිහට මේ රටේ සිදු වුණු දේවල් දිහා මම බලාගෙන හිටියා. ඒ දවස් වල මගේ වයසෙ හිටපු, එහෙම නැත්නම් මට වඩා වැඩිමහල් තරුණයන් මිය යද්දි ඒව මම දැක්ක. ඊට පස්සෙ උතුරේ සහ දකුණේ මව්වරු කඳුළු හෙළනවා මම අවුරුදු තිහක් බලාගෙන හිටියා. ඒ දේවල් එක්ක ගත්ත තීරණයක් එක්ක තමයි අද මම මෙතැනට ආවේ.

ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන තියන කතා එක්ක මම මෙතැන ඉන්න එක ගැන හැමෝටම ප්‍රශ්නයක් ඇති. ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන මම හොයාගෙන ගිහින් ඇත්ත දැන ගත්තට පස්සෙ, මුලින්ම කරපු දේ තමයි මෙතුමන්ලගෙ දේශපාලන පක්ෂයට ඒක කියපු එක. මම එහෙම කළේ කිසිම දේශපාලනයක් ඇතිව හරි, වෙනත් කිසිම අරමුණක් ඇතිව හරි නෙමෙයි. මගේ එකම අරමුණ වුණේ මේක රට දැන ගත යුතුයි, ඉදිරියටත් මේ වගේ දේවල් මේ රටේ වෙන එක නවත්තන්න ඕනැ කියන එකයි.

රටේ නියත ප්‍රතිපත්ති වෙනස්විය යුතුයි 

ඒත් මට මේ වේදිකාවෙ ඉන්න ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට පෙර කිසි දිනක හමු වෙලා නැහැ. ප්‍රේමකීර්ති ඝාතනයේ ඇත්ත මේ අයට කිව්වට පස්සෙවත් කවදාවත් ඔහු මට කිසිම දේකට එන්න කියල කිසිම ආරාධනයක් කරලත් නැහැ. ඒත් ඊට බොහොම කාලෙකට පස්සෙ මම ‘මල්ලියේ’ කියල ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. මම දකින සමහර කාරණා ගැන කිව්වම ඉතාම සුහදව ඒ දේවල් ගැන කතා කළා. ඊට පස්සෙ මට ඇහෙන සමහර දේවල් ගැන කියන්න, සමහර ප්‍රතිපත්ති රටක ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල කියන්න අයෙත් කාලෙකට පස්සෙ කතා කළා. මම එහෙම කතා කරද්දිවත් මෙතුමා මට දේශපාලන වේදිකාවට එන්න කියල නැහැ.

ඊට පස්සෙ ඊයෙත් මම කතා කළා. රටේ තියන ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනෑ, මේ රටේ දැන් මොනව හරි අලුත් දෙයක් වෙන්න ඕනෑ නේද කියල ඇහුවා. ඒ පාර තමයි ඔහු මට කිව්වෙ, හෙට මේ විදිහෙ කාන්තා වැඩසටහනක් තියෙනවා, පොඞ්ඩක් ඇවිත් බලන්න ඒක කියලා. ඒත් මට වේදිකාවට එන්නවත්, කතාවක් කරන්නවත් කියලා කිව්වෙ නැහැ. මෙතෙන්ට එනකම් මෙහෙම කතාවක් කරන්න මගේ සූදානමක් තිබුණෙත් නැහැ. ඒත් දැන් ටික වෙලාවකට කලින් මමයි කිව්වෙ. මට කියන්න දෙයක් තියෙනවා, මම ඒක කියන්නද කියල.


ප්‍රේමකීර්තිගේ ඝාතනයෙන් පස්සේ විවිධ අය මාව හොයාගෙන ආවා

දැනට අවුරුදු තිහකට විතර කලින්, ප්‍රේමකීර්තිගෙ ඝාතනයෙන් පස්සෙ විවිධ අය මාව හොයාගෙන ආවා. විවිධ වැඩවලට ආරාධනා කළා. ඒ හැමෝටම මම කිව්වෙ සැමියා මිය ගිය එක හේතුවක් කරගෙන දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ දේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියල. එහෙම හිතපු මට මේ විදිහට ඉදිරිපත් වෙන්න තිබුණු ලොකුම හේතුව තමයි මේ අය තුළ තිබුණු අවංකකම සහ වීනීතකම. මාව කිසි දේකට පාවිච්චි කර ගන්න ඔවුන් හිතුවෙ නැහැ.

අනෙක් කාරණාව තමයි පසුගිය දවස් කිහිපය පුරාම එකින් එක එළිදක්වගෙන ගිය ප්‍රතිපත්ති මාලාව. වෙන කිසිම දේශපාලන පක්ෂයක් එහෙම කරන්නෙ නැහැ. නිකම් මේ දේවල් මම ආවම කරනව කියන සරල පොරොන්දු වෙනුවට එකින් එක නිශ්චිතව, ඉලක්ක ඇතුව, පැහැදිලිව වැඩපිළිවෙළක් විදිහට ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්තිත් මට මේ වේදිකාවට එන්න බලපාපු අනෙක් හේතුව වුණා.

මම නැවතත් කියනවා, මම මෙතන කතා කරපු එක හෙට ඉඳන් මට විරුද්ධව, දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වැරදි මතවලට අහු වෙන්න එපා. ඒ වගේම දැනට ඉන්න වැරදි ආකල්පවල ඉන්න හැම කෙනාටමත් මම ආරාධනා කරනවා, ඒ වැරදි මතවලින් වෙන් වෙලා, රට යන අත ගැන හිතලා, ඒ ගමන නිවැරදි පැත්තට ගෙනියන්න එකතු වෙන්න කියන එක මම බොහොම විශ්වාසයෙන් කියනවා“ යන්නයි.