ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම නෙදර්ලන්තයේ පැසසුමට


ප්‍රජාතන්ත්‍රවාදී හරයයන් සහ අගයයන් ආරක්‍ෂා කරමින්, මානව නිදහස හා අයිතිවාසිකම් ඉහළට ඔසවා තබමින්  ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීම සඳහා ගත් කැපවීම අගය කරන බවත්, දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්‍ෂා කරලීමේ අභියෝගයට ශ්‍රී ලාංකේය ජනතාව සාර්ථකව මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් පැවසීය. 

අද (19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තම රටේ ව්‍යවසායකයන් කැමැත්තෙන් සිටින බවය.

දෙරට අතර පවතින සබඳතා පදනම් කර ගනිමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව අගමැතිවරයා මෙහිදී අදහස් පළ කළේය. 


නෙදර්ලන්ත ආයෝජන ඔස්සේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ද, වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට අගමැති ලේකම් සමන් ඒකනායක මෙන්ම නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වී සිටියහ.