''කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි'' - අගමැති



දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බවත් දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අද (11) කුරූණෑගල, නගර සභා ශාලාවේදී අද (11) දින පැවැති වගා හානී වූවන් සඳහා වන්දි ලබාදීමේ උත්සවයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, 

"අද දින මම මෙම ස්ථානයට පැමිණීමට පෙර දිවංගත සාලින්ද දිසානායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගොඩවුණා. සවස් කාලය වන විට මේ ප්‍රදේශයේ යම් යම් පිරිස් කොළඹ පැවැත්වෙන සම්මේලනයට සහභාගී වෙනවා. නම වෙනස් කරමින් තමයි එම සම්මේලනය පවත් වන්නේ. එලෙස නම වෙනස් කිරීම පිළිබඳව මා සුභ ප්‍රාර්ථනා කරනවා. 

මහින්ද රාජපක්‍ෂ පාලනයට වසර 10 ක් රට සංවර්ධනය කිරීමට නොහැකි වුණා. එසේ නම් නම වෙනස් කරමින් බලයට පැමිණ ඔවුන්ට රට සංවර්ධනය කළ හැකි ද කියා මා විමසා සිටිනවා. යුද්ධය අවසන් වුණාට පසු රටේ සංහිදියාව ඇති වුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී තිබුණා. නමුත් සියලූ අභියෝග මධ්‍යයයේ වසර 05 ක් තුළ අපි සංහිදියාව ඇති කරමින් ඉදිරියට පැමිණියා. 

රාජපක්‍ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැති වුණා. රට ලෝකය හමුවේ හුදකලා වුණා. නමුත් වසර 05 ක් තුළ මේ සියල්ල යළි ගොඩනඟමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකි වුණා. 

වසර 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරන්න ඒ පාලකයින්ට හැකි වුණේ නැහැ. එදා මාධ්‍ය නිදහස තිබුණේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළේ නැහැ. සුදු වෑන් සංස්කෘතියක් රටේ ඇති වී තිබුණා. හැම අතින්ම රට පිරිහීමකට ලක්ව තිබුණා. සෞඛ්‍ය, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළේ නැහැ. නැවත මෙවැනි විනාශ කාරී යුගයකට ගමන් කරනවා ද එසේත් නැති නම් ගත වූ වසර 05 තුළ සිදු කරගෙන ආ වැඩ පිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් රට දියුණු කර අනාගතය ගොඩනඟා ගන්නවා ද කියා ජනතාව තීරණය කළ යුතුයි. 

වසර 10 කින් සංවර්ධනය කිරීමට නොහැකි වූ රට නැවත සංවර්ධනය කළ හැකි ද? ඇඳුම් හා මුහුණ මාරු කිරීමෙන් වෙනසක් සිදු වන්නේ නැහැ. කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. මොනවා කළත් කොබෙයියා රාජාලියෙක් වෙන්නේ නැති බව ජනතාව තෙරුම් ගත යුතු'' යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.  


මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  කියා සිටියේ අගමැතිවරයා තරම් දුරදක්නා නුවණින් ක්‍රියා කළ වෙනත් නාකයෙක් ලංකා ඉතිහාසයේ නොසිටි බවයි. 

ඔහු විවිධ අභියෝග මධ්‍යයයේ රට ගොඩනැගීමට පියවර ගත් බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන මොහොතක ඇතැම් බලවේග බුදු දහම හා ජාතිවාදය අවුස්සා බලයට පැමිණීමට ජනතාවට මුලාකරමින් සිටින බවත් පෙන්වාදුන්නේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත් බව මෙහිදී පෙන්වාදුන් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්  මෙවර යල කන්නයේ සිට වී කීලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමන බව සඳහන් කළේය.