'පොහොට්ටුවේ කම්මුතුකාරයෙකුට රට භාරදෙනවාද ?'' - රනිල්



පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්‍ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අරලියගහ මන්දිරයේදී අද (9) පැවති කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවේදී  පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූයේ ගතවූ වසර කිහිපය තුල ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත්, ඔබේ අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ය.  

ඉහත දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, 

''පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි. අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා. අප සිදුකළ මෙම වැඩකටයුතු වලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. 

පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා  මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.


අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද ?. එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද ?

කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.'' යන්නයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන ඇතුළු මැති ඇමතිවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් සහභාගිව සිටියහ.