''මාධ්‍යවේදී ප්‍රසන්නට කළ තර්ජනය හෙළා දකිමු'' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



“ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය මඟින් ඇමතිවරයාගේ ආහාර සඳහා අරමුදල් සපයන්නේද?”  යන මාතෘකාව යටතේ 'තිනක්කුරල්' පුවත්පතට ලිපියක්  රචනා කිරීම සම්බන්ධයෙන් කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් විසින් මාධ්‍යවේදී කේ. ප්‍රසන්නට තර්ජනය කළ සිද්ධිය දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද (10) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

''තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතා කරමින් “ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය මඟින් ඇමතිවරයාගේ ආහාර සඳහා අරමුදල් සපයන්නේද?”  යන මාතෘකාව යටතේ ලිපියක් ලිවීම සම්බන්ධයෙන්
කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් විසින් මාධ්‍යවේදී කේ. ප්‍රසන්නට එල්ල කළ තර්ජනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දකී.

කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යටතේ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා ඉස්මතු කරමින් මාධ්‍යවේදී කේ. ප්‍රසන්න තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කරමින් මෙම ලිපිය ලියා තිබුණු අතර, එය ‘තිනක්කුරල්’ දෙමළ පුවත්පතේ 2019.08.04 වන දින ප්‍රකාශයට පත් කර ඇත.

එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අමාත්‍ය දිගම්බරම් සහ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් තමා අමතා තර්ජනය කළ බව ප්‍රසන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට දන්වා සිටියේය මේ සම්බන්ධයෙන්. මාධ්‍යවේදී කේ. ප්‍රසන්න තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවටද පැමිණිලි කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම බිය ගැන්වීමේ ක්‍රියාව සලකන්නේ මාධ්‍ය නිදහසට සහ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතට එල්ලවූ තර්ජනයක් ලෙසටයි. එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන්ගේ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසටයි.'' යන්නයි.