''බහුතරයක් නැතිව රටට සේවය කරන්න හැකිවුණා'' - අගමැති


පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩු බලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි තමන් විමසන බවත් සුළුතර ආණ්ඩුවක් වූවත් වත්මන් ආණ්ඩුව ගත වූ වසර හතර තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කර තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (28) ඇඹිලිපිටියේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ ජාතික සේවක සංගම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

"අපේ ආණ්ඩුව අභියෝග ගණනාවකට මුහුණදෙමින් ඉදිරියට ආවා. නියඟය, ගංවතුර, ප්‍රාදේශීය සභා මැතිවරණය, පාස්කු ප්‍රහාරය ආදී මේ සියලූ අභියෝගයන්ට අපි මුහුණ දුන්නා. එවිට අපේ ආණ්ඩුව අස්ථාවරවනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඒ සියලූ අභියෝගයන්ට මුහුණ දෙමින් අපි සාර්ථකව ඉදිරියට පැමිණියා. 

අධ්‍යාපනය සඳහා යොදවන මුදල් වැඩි කිරීමට අපි කටයුතු කළා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කළා. පාසල්වලට පුහුණු ගුරුවරුන් ලබාදීම ආරම්භ කළා. සිසු දරු දැරියන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. සෞඛ්‍ය සේවා ගාස්තු අඩු කරමින් රටේ ජනතාවට සහන සැලසීමට අපි කටයුතු කළා. ස්ටෙන්ට් නොමිලේ ලබාදීමට අපේ රජයට හැකි වුණා. රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාවට නිවාස ලබාදුන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. නමුත් අද අපේ අණ්ඩුව යටතේ අමාත්‍යංශ හතරක් හරහා ජනතාවට නිවාස ලබාදීම සිදු කරනවා. එමෙන්ම සියලුම අමාත්‍යංශ හරහා සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවමින් රට ඉදිරියට ගෙන යනවා. 

බහුතරයක් නොමැති වුවත් අපේ ආණ්ඩුව ගත වූ වසර හතරකට අධික කාලය තුළ ජනතාවට විශාල මෙහෙයක් සිදු කළා. බහුතරයක් නොමැති අපට මෙතරම් විශාල සේවයක් රට වෙනුවෙන් කිරීමට හැකි වුණා නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තිබියදීත් රට සංවර්ධනය කිරීමට නොහැකි වූ රාජපක්‍ෂ ආණ්ඩුව දැන් නැවතත් ආණ්ඩුබලය ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මම විමසනවා.

බහුතරයක් නොමැතිව වත්මන් ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් මෙතරම් විශාල සේවයක් සිදු කර තිබෙන අවධියක එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ජනතාව විසින් ඉදිරියේදී බහුතර බලයක් ලබාදෙන්නේ නම් රට සංවර්ධනය කරා මෙහෙයවීම තව තවත් වේගවත් කළ හැකි වෙනවා."  යන්නයි. 

එහිදී අදහස් දැක්වූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  පැවසූයේ ''අද නැවත වතාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ 2500 කට අධික ජනතාවකට ඉඩම් ඔප්පු ලබාදීමට අපට හැකිවී තිබෙනවා. ඉඩමක අයිතිය තිබීම පුද්ගලයෙකුට කොතරම් වටිනවාද යන්න අවබෝධ කරගත් මෑත කාලීන දේශපාලන නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. 2015 මැතිවරණ පොරොන්දුවක් එතුමා ලබා දුන්නේ ඒ අනුවයි. රට පුරා ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ වගකීම එතුමා මට භාර දුන්නා. රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමටත් එතුමාගේ උපදෙස් මත අපි කටයුතු කරනවා. 

රටේ ධනපතීන්ට ඇති ඉඩමක අයිතිය රටේ සාමාන්‍ය ජනතාවටත් ලබාදීම අග්‍රාමාත්‍යතුමාගේ අරමුණයි. ඒ කාර්ය අපි ඉතාම වේගයෙන් සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ රත්නපුර ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් තලතා ඇමැතිතුමිය ඇතුළු මේ ප්‍රදේශයේ සියලූ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දුන්නා.'' යන්නයි. 

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල අවධාරණය කළේ,  ''අගමැතිතුමාගේ මාර්ගෝපදේශය ඇතුව ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා රට පුරා මේ කරන කාර්ය භාර්ය ඉතා විශාලයි. ජනතාවට ඉඩම් ලබා දීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයට විශාල ඉතිහාසයක් සහ අභිමානයක් තිබෙනවා. ඩී.එස්. සේනානායක කාලයේ සිට රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරමින් ගොවි ජනපද ඇරඹිම ආරම්භ කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. 

ඔබේ ඉඩමට අයිතියක් නොමැතිව කොතරම් සිත්තැවුලකින් සිටියා දැයි අපි දන්නවා. ඔබේ දරුවා පාසැලට ඇතුළත් කරගන්න, ණයක් ගන්න, දෑවැද්දකට දෙන්න ඔබට මෙතෙක් හැකියාව තිබුණේ නැහැ. එම ගැටළුවලට නිසි විසඳුම් දෙමින් අගමැතිතුමාගේ උපදෙස් මත මෙම ඉඩම් ඔප්පු ලබා දීමට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට හැකිවී තිබෙනවා. අද ඔබට ඔබේ ඉඩමේ නියම අයිතිය ලැබෙනවා. ඒ වෙනුවෙන් අගමැතිතුමාගේ මගපෙන්වීම විශාල ශක්තියක් වූ බවත් පැවසිය යුතුයි.'' යන්නයි.