ස්තුතිය - අලව්දීන් අන්සාර්


(අලව්දීන් අන්සාර්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වේ)  


‘‘ඉබ්බන්වලින් පිටකොටුව ඉඳන් මීගොඩට එන සී.ටී.බී බස් එකකට නැගලා තෙරපී තෙරපී ඇවිත් අතුරුගිරියෙන් බැස්සා. රෑට කන්නේ මොනවද හිත හිත ගේට්ටුව ළඟට ආවා කියමුකෝ. උදේ වහලා ගියපු ගේට්ටුව හායි ගාලා ඇරලා දාලා. කවුරු හරි කෙනෙක් වත්තට ඇතුල්වෙලා වගේ. ආපු කෙනා කවුරුහරි වෙලා ජනේලේ අස්සේ කොළයක් ගහලා ගිහිං. 

හපොයි, වතුර කපලා දාලා. 

ගේ අයිති මනුස්සයා වතුර බිල ගෙවනවා කියලා පොරොන්දු වුණත් ගෙවලා නැහැ. ඉතිං අගෝස්තු 10 න් පස්සේ වතුර කපනවා කියලා දාලා තිබුණත් නොහිතුව මොහොතක වතුර කපපු නිසා අපිට විඳින්න සිද්ධ වුණේ දැඩි පීඩාවකට. වතුර ටැංකියකුත් ගෙදර නැහැ, ළිඳකුත් නැහැ. කාගේවත් අම්මා, මුත්තා සිහිකරලා වැඩක් නැහැ. මුලින්ම මේ මොහොතේ කළයුත්තේ කුමක්දැයි හිතාගන්න බැරිව බිල් එකේ තිබුණු නම්බර් එකට ගත්තා. ප්‍රාදේශීය කාර්යාලයේ සේවිකාවක් උත්තර දෙමින් කීවේ මේ මොහොතේ කරන්න කිසිම දෙයක් නැති බවත් හෙට උදේ 9-12 අතර කතාකරලා විසඳගන්න කියලා. එතනින් එහාට කළයුත්තේ කුමක්ද ?. ගෙදර අයිතිකාරයින්ගේ වැරැද්ද කියවා කියවා ඉඳලා ඵලක් නැහැ. ඉතිං. 

ලැප් එක ඔන් කරන් මොබයිල් ඩේටා වලින් ජල සම්පාදන එකේ වෙබ් අඩවිය හෙව්වා. ලෑන්ඩ් ලයින් නැතුව මොබයිල් නම්බර් තියෙන්නේ කාගේද ?...

සභාපතිවරයා අලව්දීන් අන්සාර් ඇතුළු ඉහළ පෙළේ නිළධාරීන් කීපදෙනෙකුගේ නම්බර්ස් තියෙනවා. සභාපති කියන්නේ වගකීම් වැඩි කෙනෙක්. ඒ නිසා සභාපතිවරයාට මුලින්ම නොගෙන ඊට පහළ නිළධාරීන් කීපදෙනෙකුගේ නම්බර්ස් ඩයල් කළා. කිසිවෙක්ගෙන් පිළිතුරක් නැත. කිසිවෙකු දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නැත.

දැන් තියෙන්නේ එකම විසඳුමයි. සභාපතිවරයට කතාකිරීමයි. පළමුවර කිසිදු පිළිතුරක් නැතත් දෙවනවර ඔහු ඇමතුමට උත්තර දුන්නා. සම්පූර්ණ විස්තරේ කිව්වා. බොන්න වත් වතුර පොදක් නැහැ කියලා මේ මොහොත ගැන මානුෂික ස්වරූපයක් දුන්නේ වෙන විසඳුමක් නැති තැනයි. ඔහු මුලින්ම කිව්වා උපදෙස, අවම ගාණවත් ගෙවන්න කියන එකයි. 25 පඩිපත ලැබෙන තෙක් ජීවත්වෙන්න තිබුණු මුදලින් අවම ගාණ ගෙව්වා. පැයකට විතර පස්සේ ආයෙත් සභාපතිවරයට ඇමතුමක් අරන් අපි මුදල් ගෙව්ව බව කිව්වා. ඔහු කිව්වේ අතුරුගිරිය කලාපය භාර කළමනාකරුට ඇමතුම් ගන්නට උත්සහ කළත් ඔහුගෙන් පිළිතුරක් නැති බවයි. ‘ඔයාට මං නම්බර් එක දෙන්නම්, අරන් බලන්න‘ ඔහු කිව්ව. 

කළමනාකාරවරයාගේ නම චමින්ද දිසානායක. ඒ උපදෙස් එලෙසින්ම අනුගමනය කරමින් අපි අදාළ අංකයට කතා කරලා ඔහුට මේ අවුල පැහැදිලි කළා. හෙට උදේ වෙද්දි ඉතුරු සම්පූර්ණ ගාණ ගෙවන පොරොන්දුව පිට මීට සුළු මොහොතකට කලින් ආව කාර්යමණ්ඩලයේ පිරිස නැවත සම්බන්ධතාවය ලබාදුන්නා. 8.37 යි. සභාපතිවරයාගේ සිට කාර්යමණ්ඩලයේ සියළුදෙනාටම ස්තුතියි. දැනුම් දීලා පැය දෙකහමාරක් ඇතුළත සියල්ල විසඳුවට.... 

සභාපතිවරයා ඇමතුම නොගත්තා නම් මොකද ? වෙන්නේ. අද රෑ කොහොමහරි තියෙන දෙයක් ගිලලා, ඇඟපත හෝද ගන්නවා තියා අත්‍යවශ්‍ය ශරීර කෘත්‍ය පවා නොකර හෙට උදේ වෙනකල් ඉන්න වෙනවා. හෙට කාර්යාලයට යන්න වෙන්නෙත් නැහැ. සීතල වතුර වීදුරුවක් බොන ගමන් මට එහෙම හිතුණා.‘‘




වින්ධ්‍යා ගම්ලත්