''වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය නොවේ'' - අගමැති


තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක ගෙමට කෝටියක් වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමින් පළමු ස්ථාන දිනාගත් යෞවන සමාජ සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (19) පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. 


දේශපාලනයෙන් ඈත්ව සිටින තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහා අද කළ යුත්තේ අපේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ න්‍යාය පත්‍රය බවට පත්කිරීම නොව ඔවුන්ගේ න්‍යාය පත්‍රය අපේ න්‍යාය පත්‍රය බවට පත්කර ගනිමින් අලූතින් සිතා පියවර ගැනීම බව ඔහු මෙහිදී අවධාරණය කළේය. 

මෙම උත්සවයට සහභාගීවීමට පෙර අගමැතිවරයා යාපහුව මැතිවරණ කොට්ඨාශයේ  කාපට් අතුරා සංවර්ධනය කරන ලද පොල්පිතිගම මඩගල්ල මාර්ගය විවෘත කිරීම, තරුණ සේවා සභාවේ  "ගමට කෝටියක්" වැඩසටහන යටතේ පොල්පිතිගම ප්‍රභාෂ්වර යෞවන සමාජය මගින් ඉදිකරන ලද අමුණුකුල, පොල්පිතිගම පාලම විවෘත කිරීම ද සිදු කෙරිණි. 

අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේ,

ජයග්‍රාහී යෞවන සමාජ වලට කෝටියක් දෙනවා 

"අද ප්‍රභාෂ්වර යෞවන සමාජය විසින් ඉදිකළ පාලම මම විවෘත කළා. "ගමට කෝටියක්" වැඩසටහන යටතේ අපි රුපියල් ලක්‍ෂ 03 ක් ලබා දුන්නා. ඔවුන් ඉන් රුපියල් ලක්‍ෂ 43 ක පාලමක් ඉදිකර තිබෙනවා. ඒ ඔවුන්ගේ දක්‍ෂතාවයයි. අපි එය අගය කළ යුතුයි. 

ගමට කෝටියක් වැඩසටහන යටතේ ජයග්‍රහණය කළ යෞවන සමාජවලට දැනට කෝටියක් ලබා දෙනවා. දෙවන ස්ථානය දිනා ගන්නා යෞවන සමාජයට ලක්‍ෂ 50 ක් ලබාදීමට කටයුතු කළා. නමුත් මින් ඉදිරියට දෙවෙනි ස්ථානයට පත්වන යෙඣීවන සමාජ පහක් වෙනුවෙන් ලක්ෂ 50  බැගින් ලබාදීමට මම තීරණය කළා. තුන්වන ස්ථානය දිනා ගන්නා යෞවන සමාජ පහක් සඳහා ලක්‍ෂ 30 බැගින් ලබා දෙනවා. මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ලබාදෙන ත්‍යාග ද අපි වැඩි කර ගත යුතු යැයි මම සභාපති තුමාට පැවසුවා. 

යෞවන සමාජ 5000 ක් ස්වේච්ඡාවෙන් ආරම්භ වන විට රටට විශාල සේවයක් සිදු වෙනවා. දක්‍ෂ තරුණ තරුණියන් වෙනුවෙන් අපි තව තවත් ආධාර උපකාර කළ යුතුයි.

"යූත් ලයිෆ් වට්ස්අප්" - ඔබ වෙනුවෙන්

ඒ වගේම අපි අද "යූත් ලයිෆ් වට්ස්අප්" වැඩසටහන ආරම්භ කළා. තරුණ ඔබට අවශ්‍ය සියලූම කාරණා තොරතුරු එහි ඇතුළත් වෙනවා. මේ වනවිට ජපානයේ රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට අවශ්‍ය පුහුණුව අපේ තරුණ තරුණියන්ට ලබාදීම රජය ආරම්භ කර තිබෙනවා. ගම්පෙරළිය යටතේ තරුණ සේවා සභාවට සහ යෙඣීවන සමාජ සම්මේලනයට අවශ්‍ය මුදල් වෙන් කරදී ඒ හරහා තරුණ ඔබට ජපන් භාෂා පුහුණුව ලබාදීමට හැකියාව ලැබෙනවා.

සෑම ගමකටම ශරීර සුවතා කට්ටල

ග්‍රාමීය තරුණ තරුණියන් වෙනුවෙන් ශරීර සුවතා කට්ටල ලබාදීමට කටයුතු කරනවා. මේ වසර තුළ සෑම ගම්මානයකටම ශරීර සුවතා කට්ටල 03 ක් ලබාදෙන බව මම ප්‍රකාශ කරනවා. ඒ හරහා ආරම්භ කරන මේ වැඩසටහන ඉදිරි වසර 03 කදී දියුණු කිරීමට අපට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ග්‍රාමීය සියලූම අංශ වෙත අපි අවධානය යොමු කරනවා. 

"ගමට කෝටියක්" වැඩසටහනේ අපේ අරමුණ වන්නේ ගමේ සංවර්ධනයට සියලූම දෙනා සහභාගී කරවා ගැනීමයි. තවත් වැදගත් අරමුණක් අප සතුව තිබෙනවා. එනම් ගම්මාන තුළ තරුණ නායකත්වයක් බිහි කිරීමයි. වෙසක් - පොසොන් කාලවල දන්සැල් ආදී ආගමික කටයුතු වල මුල් තැන ගැනීමට, අවුරුදු කාලවලදී ගමේ උත්සව ආදිය සංවිධානය කිරීමට හැකියාව ඇති තරුණ නායකයින් මේ වැඩසටහන හරහා ඇති කිරීම අපේ අරමුණයි. ඔවුන්ට මුදල් එකතු කිරීම මුදල් වියදම් කිරීම, තරුණ තරුණියන් එක්කාසු කර ගැනීම, එක් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම ආදිය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. 

මට අවශ්‍ය වන්නේ ගම තුළ එවැනි නායකත්වයක් වර්ධනය කර ගැනීමට අප ඉදිරියට දියුණු කළ යුත්තේ එම නායකත්වයි. වැඩ කිරීමට දක්‍ෂතා ඇති තරුණ තරුණියන් අපට සිටිනවා. නායකත්ව ගුණාංග අපේ ජීවිතයටත් ඉතා වැදගත් වනවා. අද රටේ විශාල තරුණ කණ්ඩායමක් නිර්මාණය වී තිබෙනවා. එය දේශපාලනයටත් අභියෝගයක් වී තිබෙනවා. 

සභාපතිතුමා පැවසූ ආකාරයට දේශපාලනය යනු තට්ටු මාරු ක්‍රමයක්. පවතින ආණ්ඩුව හොදින් වැඩ කරනවා නම් මහ ඡන්දයකදී එම ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට ජනතාව කටයුතු කරනවා. එසේ නැතිනම් විරුද්ධ පක්‍ෂය බලයට ගෙන ඒමට කටයුතු කරනවා. නමුත් අද වනවිට තරුණ පරම්පරාව සම්පූර්ණයෙන්ම මෙම පද්ධතියෙන් ඈත් වී තිබෙනවා. ඔවුන් අද වනවිට කිසිවෙකුටවත් ඡන්දය ලබා නොදෙන තත්ත්වයකට පත්වී තිබෙනවා. එය දේශපාලන ක්‍රමයට අසුභ ලකුණක්. එම නිසා එම තරුණ පරම්පරාව හොඳ දේශපාලන ක්‍රමයකට එකතු කර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ වනවිට අප රට තුළ සිදු කර තිබෙන කාර්යයන් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා දිය යුතුයි.

අපි ණය ගෙවමින් ඉන්නවා 

ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව අද ක්‍රමානුකූලව ණය ගෙවමින් සිටිනවා. රට දියුණු කිරීමට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. නුවර සිට කොළඹදක්වාත් කොළඹසිට හම්බන්තොට දක්වාත් විශාල සංවර්ධනයක් ඇති කරනවා. බිංගිරිය ප්‍රදේශයේ විශාල වෙළෙඳ කලාපයක් ආරම්භ කරනවා. කුරුණෑගල නගරයේ විශේෂ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. බස්නාහිර පළාත තුළ මහා නගරයක් ඉදි කරනවා. මේ වනවිට හම්බන්තොට වරාය සක්‍රීය කර තිබෙනවා. රට තුළ විවිධ කර්මාන්තශාලා ආරම්භ කර තිබෙනවා. 


විවිධ වැඩසටහන් හරහා ගමට මුදල් ලබා දෙනවා. විමධ්‍යගත අරමුදල් හරහා අවශ්‍ය මුදල් ලබා දෙනවා. "රන්මාවත්" වැඩසටහනින් මාර්ග ඉදිකර දී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන හරහා පාසල්වලට ගොඩනැගිලි සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා. සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් නොමිලේ ස්ටෙන්ට් ලබා දෙනවා. උසස් අධ්‍යාපනය වෙනුවෙන් නුදුරේදීම ටැබ් පරිගණක ලබා දෙනවා.

මෙවැනි වැඩකටයුතු ගණනාවක් අපි සිදු කර තිබෙනවා. එවන් පසුබිමකත් තරුණයින් දේශපාලනයෙන් ඈත් වී තිබෙන්නේ ඇයි ද යන්න පිළිබඳව කල්පනා කළ යුතුයි. අප මෙතරම් වැඩ කොටසක් සිදු කළත් තරුණ තරුණියන් සිතන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව රටට සිදු විය යුතු බොහෝ දේ තවමත් ඉටු වී නොමැති බවයි. මෙහි තිබෙන ගැටළුව එයයි. අප එය ප්‍රතික්ෂේප නොකර ඒ ගැටළුව පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ යුතුයි. අප රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ සියල්ල අප සිදු කර තිබෙන්නේ අප වෙනුවෙන් නොවෙයි. අනාගත ඔබ වෙනුවෙනුයි. එම වැඩකටයුතු පිළිබඳව ඔබ සෑහීමකට පත් වන්නේ නැතිනම් ඊට හේතු වන කරුණු අප සොයා ගත යුතුයි.

වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය වන්නේ නැහැ

වැඩිහිටි අපේ න්‍යාය පත්‍රය තරුණයින්ගේ න්‍යාය පත්‍රය වන්නේ නැහැ. මමත් තරුණ අවදිය පසු කර තිබෙනවා. එම නිසා අපේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ න්‍යාය පත්‍රය බවට පත් නොකර තරුණ තරුණියන්ගේ න්‍යාය පත්‍රය පිළිබඳව අළුතින් සිතා රටේ දියුණුව කරා නව මාවතක ගමන් කළ යුතු යැයි මම ප්‍රකාශ කරනවා. යොවුන් පාර්ලිමේන්තු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමේදී මට අවබෝධ වුණේ එයයි. 

රට පිළිබඳව අලූතින් සිතිය යුතු කාලය, නව මාවතක ගමන් කළ යුතු කාලය දැන් එළැඹතිබෙනවා. ඒ වෙනුවෙන් අප එකට එක්වී වැඩ කළ යුතුයි. අනාගතය හිමි තරුණ තරුණියන්ගේ අවශ්‍යතා අනුව රටේ සංවර්ධන න්‍යාය පත්‍රය අප සැකසිය යුතුයි. ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. 
එම වැඩසටහන පිළිබඳව ආණ්ඩුවේ මතය අපි ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහනට සහභාගී වූ සියලූම යෞවන සමාජවලට මම අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.'' යන්නයි.