මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලාට වෙනස්කොට සැලකීම හෙළාදකිමු


ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ජුලි 21 පැමිණි අවස්ථාවේ, මාධ්‍ය ආවරණය පිණිස පැමිණි ලේක්හවුස් මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලා මහතාගේ රාජකාරියට බාධා කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකින බව ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙහි වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ

''අප වෙත වාර්තා වු අන්දමට මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලා  මහතා ඊට සහභාගි වී ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම අවස්ථාව ආවරණය කිරීම පිණිස මාධ්‍ය ආයතන වලට  කරන ලද ආරාධනයක් අනුවය. අමිනුල්ලා මහතා ගේ සහභාගිත්වය වළක්වන අවස්ථාවේ, ඔහු සිය නිල රාජකාරි හැඳුනුම් පත ඉදිරිපත් කරමින්, තමන් පැමිණියේ සිය මාධ්‍ය ආයතනය වෙනුවෙන් රාජකාරියක් පිණිස බව ප‍්‍රකාශ කොට ඇත. එහෙත් මහා නායක ස්වාමීන් වහන්සේගේ  ආරක්ෂක අංශය  ඊට ඇහුම්කන් දි නොමැත. වාර්තා වන අන්දමට අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂ අංශය සමන්විත වන්නේ අමාත්‍යංශ ආරක්ෂක අංශය හා  මහනුවර පොලිසියට අනුයුක්ත නිලධාරින් ගෙනි. සාධාරණ හේතු දැක්වීමකින් තොරව මාධ්‍යවේදී අමිනුල්ලාට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදීම මගින් කරුණු වාර්තාකරණයට ඉඩ නොදීම හැරුණු විට, ඔහුට වෙනස් කොට සැලකීමක්ද සිදුව තිබෙන  බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි. 

මාධ්‍යවේදියා ගේ ජාතිකත්වය හෝ සමාජ පසුබිම නොසලකා තමන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය පසුබිම හා වාතාවරණය සකස් කිරීම බලධාරින් ගේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.'' යන්නයි.