''රට ගොඩගන්න අලුත් සන්ධානයක් බිහිකරනවා'' - අගමැති




එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා (23)  අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අවිස්සාවේල්ල නගරයේ පැවැති ජන හමුවේදී පැවසුවේය. 


අවිස්සාවේල්ල නගරයේ පැවැති ජන හමුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ,


''ඉදිරියේදී පාදුක්ක, හංවැල්ල හා අවිස්සාවේල්ල ප්‍රදේශ සංවර්ධනය කරනවා'' 


“අද දින සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමත්, තවත් ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමත් සිදු වුණා. එම ව්‍යාපෘති තුළින් අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා. බස්නාහිර පළාතේ විශාලතම මැතිවරණ කොට්ඨාශය වන අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශය තුළ මේ සංවර්ධන ව්‍යාපෘතිවලින් බොහොමයක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කළ බව සඳහන් කළ යුතුයි. 

ඉදිරියේදී සංවර්ධනය කළ යුතු ප්‍රදේශ ලෙස පාදුක්ක, හංවැල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශ 1992 වසරේ සිටම සංවර්ධනය කළ යුතු බව දැනගත් නිසා සීතාවක වෙළෙඳ කලාපය මෙම ප්‍රදේශයට ගෙන ඒමට අප කටයුතු කළා. ඉන් පසු සිදු වූ ආණ්ඩු මාරුවත් සමග අප එදා ඉලක්ක කර ගත් සංවර්ධනය මෙම ප්‍රදේශයේ සිදු වූයේ නැහැ. 2015 වර්ෂයේ අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවතත් මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු වුණා. 

ඒ අනුව පාඨලී චම්පික රණවක ඇමැතිතුමා ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වගකීම භාරගෙන කටයුතු කරමින් සිටිනවා. එතුමා දියත් කරන මහනගර වැඩපිළිවෙළ යටතේ කොළඹ, කළුතර, මීගමුව, හෝමාගම දක්වාත් දෙවැනි අදියර යටතේ අවිස්සාවේල්ල වැනි ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරනවා. 


''විශාල නවීන මහනගර ක්‍රමයක් ඇතිකිරීම අපේ ඉලක්කයයි'' 

ඉන්දීය සාගරය මධ්‍යයේ විශාල නවීන මහනගර ක්‍රමයක් ඇති කිරීම අපේ ඉලක්කය වී තිබෙනවා. ඉන්දීයන් සාගරයට බස්නාහිරින් ඩුබායි නගරයත්, නැගෙනහිරින් සිංගප්පූරුවත් පිහිටා තිබෙනවා. එසේ වුවත් නවීන මහා නගරයක් ඉන්දියන් සාගර කලාපය මධ්‍යයේ පිහිටා නැහැ. ඒ නිසා ඉන්දියන් සාගර කලාපය මධ්‍යයයේ විශාල නවීන මහානගර බිහි කිරීමේ අභියෝගය අප භාරගත්තා. 


අද දිනයේ කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් ස්වෛරීය භූමියක් බවට පත් කිරීමට අප කටයුතු කරනවා. පසුගිය රජය විසින් ආරම්භ කළ එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අයිතිව තිබුණේ නැහැ. අප විසින් රජය භාරගැනීමත් සමඟ කොළඹ වරාය නගර භූමියේ අයිතිය මෙරටට ලබාගැනීමට ක්‍රියා කළා. 

කොළඹ වරාය නගරය දියුණු වෙනවාත් සමගම ඊට නැගෙනහිරින් පිහිටා තිබෙන අවිස්සාවේල්ලේ දියුණුවත් ඇති කළ යුතුයි. හෝමාගම දියුණුවෙන් පසුව අවිස්සාවේල්ලේ දියුණුව ඇති වෙනවා. මේ වනවිට කොළඹ සිට කොට්ටාව, හෝමාගම ප්‍රදේශයන්හි දියුණුව ක්‍රමයෙන් සිදුවෙමින් පවතිනවා. අනාගතය දෙස බලමින් අවිස්සාවේල්ලේ සිට කිරිදිවැල, ඉංගිරිය, බණ්ඩාරගම, පානදුර, කළුතර දක්වා විශාල නගර කලාපයක් දියුණු කිරීමට කටයුතු කරනවා. 

අතීතයේ තුළ සිර නොවී අනාගතය දෙස බලමින් මහනගර ඇති කිරීමේ වගකීම පාඨලී චම්පික රණවක ඇමැතිතුමාට භාරදී තිබෙනවා. මහා මාර්ග පද්ධති හා අධිවේගී මාර්ග පද්ධති සියල්ලේ වැඩකටයුතු අවසන් වීමත් සමඟ මහනුවරට හා හම්බන්තොටට ඉක්මනින් ප්‍රවේශවීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ වගේම මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට මහනගර බවට පත් කිරීමේ අභියෝගයත් පාඨලී ඇමැතිතුමාට භාරදී තිබෙනවා. එම සංවර්ධන ව්‍යාපෘති තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුවී නැති බවත් සඳහන් කළ යුතුයි. මේ වන විට කොළඹ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පළමු වතාවට තට්ටු නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. 

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේ ආරම්භයක් වශයෙන් මේ සියලූ ව්‍යාපෘති හඳුන්වා දෙන්න පුළුවන්. තවත් වසර 5, 10 ක කාලයක් තුළ මෙම වේගයෙන්ම සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට හැකිවීමෙන් ඉතා නවීන මහ නගරයක් අවිස්සාවේල්ලේ ඔබ සැමට හිමිවන බව සඳහන් කළ යුතුයි.

''පාඨලී චම්පික රණවකට අපේ ස්තුතිය'' 

අපිට ඩුබායි, සිංගප්පූරුව වගේ නවීන නගර ඇති කරන්න බැරිදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මෙරට ජනතාවට ඒ රටවල වගේ නවීන මහ නගර හා නවීන ජීවිතයක් හිමිකර දීමට අප පියවර ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. ජනතාවට නවීන ජීවිතයක් ලබාදීමේ වගකීම භාරගෙන සංකල්ප ඇති කරමින් කටයුතු කරන පාඨලී චම්පික රණවක ඇමැතිතුමාත්, එතුමාගේ අමාත්‍යංශ නිලධාරීන් සියලූ දෙනාටත් මගේ ස්තූතිය පළ කරනවා. ඔවුන් ආරම්භ කළ දියුණුව ඉදිරියටත් කරගෙන යෑමට අවශ්‍ය සහයෝගය ලබාදීමට අප සූදානම්. 

ණය ආධාර කිසිවක් ලබාගත නොහැකිව ජාත්‍යන්තරය තුළ හුදකලා වී තිබූ රටක් ණය ස්ථාවර භාවයක් ඇති කර ජනතාව තුළ විශ්වාසය ඇති කරමින් සංවර්ධනයෙන් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. අභියෝග රැසක් මැද වුවත් අපි මෙරට සංවර්ධනය නතර කළේ නැහැ. ජනතාව තුළ රට සංවර්ධනය කළ හැකි බවට විශ්වාසයක් ගොඩනැගීමට අපට ඒ තුලින් හැකි වුණා. රටේ අනාගත පරපුරට පසුගිය රජයන් විසින් ගන්නා ලද විශාල ණය බර ඉතිරි කරන්නට බැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය ආයෝජන සිදු කර සීඝ්‍ර සංවර්ධනයක් තුලින් ලබන වසර 10 ක කාලය තුළ රටේ ණය සියල්ල ගෙවා දමා අතිරික්තයක් ඇති කිරීම අපේ ඉලක්කයයි.  

රටේ අධ්‍යාපනය අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය කිරීම, පාසල්වලට අවශ්‍ය මානව හා භෞතික පහසුකම් ලබාදීම, නවීන තාක්‍ෂණය සමග අධ්‍යාපනය ලබාදීම, ටැබ් පරිගණක ලබාදීම හා වසර 13 අධ්‍යාපනය තහවුරු කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් අප සිදු කර තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොමිලේ ස්ටෙන්ට් ලබාදීම වගේම අඩු ආදායම් ලාභීන් ලක්‍ෂ 6 කට අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීමත් සිදු කරනවා. මෙවැනි ක්ෂේත්‍ර කිහිපයකම වැඩකටයුතු රාශියක් පසුගිය වසර හතරක කාලය තුළ අප සිදු කළා. 

ආර්ථිකය, අධ්‍යාපන, සමාජ, යටිතල පහසුකම්, නගර, නාගරික, ග්‍රාමීය නවීකරණය සිදු කිරීමේ වගකීම භාරගෙන අවශ්‍ය වැඩපිළිවෙළ අප විසින් සිදු කරගෙන යනවා. මේ සියලූ වැඩසටහන් සමඟ රටේ සංහිදියාව ඇති කිරීමට අපට හැකි වුණා. අද රටේ සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා සමගියෙන් ජීවත් වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හා අනෙකුත් ජාතීන් වෙන වෙනම සිතන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර විය යුතුයි. අතීතයේ අපට විශාල ශිෂ්ඨාචාරයක් හිමි වුණේ විවිධ ජාතීන්ගෙන් අපට ලැබුණු සංස්කෘතීන් නිසායි. එය සිහියේ තබාගෙන ඉදිරියටත් කටයුතු කළ යුතුයි. 

ලෝකය තාක්‍ෂණය සමඟ වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන නිසා අතීතය දෙස බලමින්, සටන් පාඨ කියමින් එකතැනකට වී හිඳීමෙන් පළක් වන්නේ නැහැ. 1505 වර්ෂයේ පෘතුගීසීන් කාලතුවක්කු රැගෙන මෙරටට පැමිණියා. ඔවුන්ගේ පැමිණීමෙන් වසර 50 ක් ගත වීමටත් පෙර සීතාවක රාජසිංහ රජතුමා තාක්‍ෂණය යොදාගෙන මුල්ලේරියාවේදී පෘතුගීසීන් දැවැන්ත පරාජයකට පත් කළා. පෘතුගීසීන්ට තාක්‍ෂණය තිබෙන නිසා රාජසිංහ රජතුමා දැරැණියගලට පලාගියේ නැහැ. තිබෙන තාක්‍ෂණය යොදාගෙන පෘතුගීසින්ට එරෙහිව එතුමා එදා සටන් කළා. රාජසිංහ රජතුමා එදා සිදු කළ ආකාරයටම තාක්‍ෂණය යොදාගෙන අපේ රට ඉදිරියට ගෙන යා යුතුයි. 

අද අලූතින් සිතන අලූත් සමාජයක් බිහිවී තිබෙනවා. අද වන විට ලිපි වෙනුවට ජංගම දුරකථනයෙන්, වට්ස්ඇප් මගින් පණිවුඩ හුවමාරු කරනවා. එවැනි නවීන සමාජයක් වර්තමානයේ බිහිවී තිබෙනවා. අතීතයේ තිබුණු බාබර් සාප්පු වෙනුවට නවීන සැලූන් ඇතිවී තිබෙනවා. 

1977 වර්ෂයේ එම්.ඩී.එච්. ජයවර්ධන මහතා සමඟ කඩුවෙල වතු මැදින් පැමිණ ජන හමුවල කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. නමුත් දැන් කඩුවෙල නාගරික ප්‍රදේශයක්. වර්තමානයේ නව මධ්‍යයම පංතියක්, නව තාක්‍ෂණයක් හා නව තරුණ කණ්ඩායමක් බිහිවී තිබෙනවා. 


''දේශපාලනඥයන් පිළිබඳ ඇතැමුන්ට කලකිරීම් තිබෙනවා''

දේශපාලනඥයන් පිළිබඳ ඇතැමුන්ට කලකිරීම් තිබෙනවා. ඇතැම් විට පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඉවත් වන්නැයි කියනවා. පවතින රාමුවෙන් ඉවත් වී අලූතින් සිතිය යුතු කාලයක් දැන් පැමිණ තිබෙනවා. එසේ නැතිව දේශපාලනඥයින් වන අපට ඇතැමුන් එල්ල කරන චෝදනාවලින් ඉවත් විය නොහැකියි. 1977 වර්ෂය වගේම 2015 වර්ෂයේත් අපි අලූතින් හිතුවා. රටේ සංවර්ධනය වෙනුවෙන් පක්‍ෂ කිහිපයක් එකට එකතුවී මේ වනවිට කටයුතු කරනවා. එජාපය, ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ පක්‍ෂ, මුස්ලිම් පක්‍ෂ එකතුවී රටේ සංහිදියාව ඇති කරමින් රට ඉදිරියට ගෙන යෑමට පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළා. 

මේ එක්වීම වැඩිකලක් නොතිබෙන බව බොහෝ දෙනා ප්‍රකාශ කළා. කෙසේ වුවත් මේ සියලූ දෙනාම එකට එකතුවී රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරමින් සිටිනවා. රටේ ණය බරට ව්‍යවස්ථා කුමන්ත්‍රණවලට, ස්වභාවික ව්‍යවසනවලට මුහුණදීමට අපට සිදු වුණා. බොහෝ දෙනා අපට රජය අහිමිවේ යැයි ප්‍රකාශ කළා. නමුත් ඒ කුමන්ත්‍රණ පරාජය කර රට සංවර්ධනය කරමින් සිටින අවස්ථාවක පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. මේ නිසා රටේ අනාගතය අවසන් වේ යැයි ඇතැමුන් සිතුවා. නමුත් රජය ගත් තීන්දු තීරණ නිසා රට සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා. සංචාරක පැමිණීම ක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. මාස දෙකක් වැනි කෙටි කලක් තුළ රට යථාතත්වයට පත් කිරීමට හැකිවීම අප ලබාගත් ජයග්‍රහණයක්. කණ්ඩායමක් හැටියට ඒ සියල්ලටම මුහුණදීමට හැකිවීම පිළිබඳව ඇතැමුන් මවිතයට පත් වෙනවා. 


අනාගතයට ගැලපෙන පරිදි අප වෙනස් නොවුණහොත්, අපටත් රටටත් අනාගතයක් නැති වෙනවා. මම දේශපාලනයට පැමිණි කාලයේ ප්‍රධාන පක්‍ෂ දෙකක් තිබුණා. මේ වන විට පක්‍ෂ ගණනාවක් රටේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙනවා. මේ සියලූ දෙනාම එකට එකතුවී රට ඉදිරියට ගෙන යා යුතුයි. 
සියලූ දෙනා එකතු කරගෙන රට ඉදිරියට ගෙන යෑමේ විප්ලවීය පියවර ගැනීමට අප තීරණය කළා. රටේ අනාගතය වෙනුවෙන් පොදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට නව සන්ධානයක අවශ්‍යතාවය මතු වෙනවා. නව සන්ධානයක් සකස් කරමින් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පොදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. 

දේශපාලන පක්‍ෂවල අනන්‍යතාව රැකෙන පරිදි අප විසින් ඇති කරන නව සන්ධානය දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානය අගෝස්තු මස 05 වනදා බිහි කිරීමට සූදානමින් සිටිනවා. 

''මේ සන්ධානය හවුල්කාර පක්ෂ වලට පමණක් සීමාවන්නේ නැහැ'' 

මෙම සන්ධානය හවුල්කාර පක්‍ෂවලට පමණක් සීමාවන්නේ නැහැ. අලූතින් හිතන රට සංවර්ධනය කිරීමට කැමැති සියලූ දෙනාටම නව සන්ධානයට එකතුවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. සන්ධානය ලියාපදිංචි කිරීමෙන් නතර නොවී අනාගත පරපුර, අලූතින් ඇතිවූ මධ්‍යම පන්තිය හා ගොවි ජනතාව ඇතුළු සියලූ දෙනාටම ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරනවා. 


ප්‍රතිපත්ති පදනම් කරගෙන බිහිකරන නව සන්ධානයෙන්, ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වෙනවා. කිසිඳු වැඩපිළිවෙළක් ප්‍රතිපත්තියක් නොමැතිව නව සන්ධානයේ ලකුණට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවගෙන් අපි ඉල්ලන්නේ නැහැ. 

රටේ ජනතාවගේ අදහස් වෙනස්වී තිබෙනවා. ආණ්ඩුවෙන්, දේශපාලනඥයන් ගෙන්, විපක්‍ෂයෙන් අනාගත සැලසුම් පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා.  අපි සියලූ දෙනාම එකතුවී ගොඩනඟන නව සන්ධානය ඇති කිරීමේ ප්‍රධාන අරමුණ ඉදිරි වසර 05 තුළ මේ රට සංවර්ධනය කර ඉදිරියට ගෙන ඒම බව සඳහන් කරන්න කැමැතියි. රට බේරාගෙන ස්ථාවරයක් ඇති කිරීමට අපට හැකිවුණා. දැන් පොදු ප්‍රතිපත්තියක් තුළින් රට ගොඩනැගීමට අලූත් දේශපාලන සන්ධානයක් බිහිකිරීමට අප පියවර ගන්නවා. සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයත් සමඟ අපිත් ගැලපෙන පරිදි වෙනස් විය යුතුයි. එසේ නොවුණහොත් අපේ රටට හොඳ අනාගතයක් හිමිවන්නේ නැහැ.'' යන්නයි.