පානදුර, දුම්රිය පොළ අසල ඉදිකළ ආතර්. වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් පසුගියදා (25) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, 2015 දී පත්වූ යහපාලන රජය පිළිබඳව විදේශ ආයතන සහ රජයන් වල විශ්වාසය තිබූ නිසා ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙරටට හැකිවූ බවත් මහා නගර මෙරටට අවශ්‍ය බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,
පානදුර අද නවීන නගරයක්
''අද අපි දකින්නේ අලංකාර පානදුර ප්‍රදේශයක්. අපි කුඩා අවදියේ දුටු පානදුරට වඩා අද පානදුර නවීන දර්ශනයක් සහිත නගරයක් බවට පත්ව තිබෙනවා. පානදුර රන්කොත් විහාරය, අලංකාර උද්‍යානය ආදිය සමග මෙම නගරය අලංකාර කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කළේ පාඨලි චම්පික ඇමතිතුමායි. ඒ වෙනුවෙන් අපි එතුමාට ප්‍රශංසා කරනවා.
පානදුර නගරය අතීතයේ සිටම කොළඹ නගරයට ඉතා ආසන්නයේ පිහිටි ඉතා සුන්දර නගරයක්. පානදුර සුමංගල විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය වැනි ප්‍රසිද්ධ විද්‍යාල අතීතයේ සිට මෙහි පිහිටා තිබුණා. නාගරීකරණය හේතුවෙන් පානදුර දියුණුව මදක් ප්‍රමාද වී තිබුණා. නමුත් අපේ ආණ්ඩුව බලයට පත්වූ පසු කොළඹඇතුළු රටේ සියළු ප්‍රදේශ නාගරීකරණය කරමින් සංවර්ධනය කිරීමට අළුත් අමාත්‍යාංශයක් ඇති කර එම අමාත්‍යාංශය පාඨලි චම්පික අමාත්‍යතුමාට භාර දුන්නා.
අපේ රටට විශාල නගරයක් අවශ්‍යයි
මෙය විශාල වගකීමක්. අපේ රටට විශාල නගරයක් අවශ්‍යයි. මිලියන හතරක, පහක ජනතාවට ජිවත්විය හැකි නගරයක් අප නිර්මාණය කර ගත යුතුයි. ඉන්දියන් සාගරයේ නවීන සහ අලංකාර නගර ලෙස අපේ නගර දියුණු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දක්ෂතාවය ඇති පුද්ගලයෙක් අපට අවශ්‍ය වුණා. චම්පික ඇමතිතුමාට අපි මෙම අමාත්‍යාංශය භාර දුන්නේ එම නිසායි.
එතුමා එම අමාත්‍යාංශයේ වැඩකටයුතු බස්නාහිර පළාතට පමණක් සීමා කර නැහැ. රටේ විවිධ ප්‍රදේශවල නව නගර ඉදිකිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු වන ආකාරය අපට පෙනෙන්නට තිබෙනවා. මෙය වසර 5කින් අවසන් කළ හැකි කාර්යයක් නොවෙයි. ඒ සඳහා වසර 10ක් පමණ ගත වෙනවා.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කළ අවස්ථාවේ පැවසුවේ මෙහි වැඩකටයුතු සඳහා වසර 10 – 15 ක් පමණ ගතවනු ඇතැයි යනුවෙනුයි.
කොළඹ, ගම්පහ, කළුතර ආදී ප්‍රදේශවල අපි නාගරික සංවර්ධන වැඩකටයුතු සිදු කරනවා. ඉදිරි වසර 10-15 ක් පිළිබඳව අවධානය යොමු කරමින් නවීන ප්‍රවාහන මාධ්‍යයක් ඉදිකිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. එම නිසා මෙම වැඩ කටයුතු වෙනුවෙන් එතුමාගේ අමාත්‍යාංශයටත්, එතුමාටත් මම ප්‍රශංසා කරනවා.
මේ වැඩකටයුතු සඳහා සහයෝගය දුන් නගරාධිපතිතුමාටත් මම ස්තුති වන්ත වෙනවා. මෙම වැඩකටයුතු හරහා ප්‍රදේශයේ අළුත් ආර්ථිකයක් ඇති වෙනවා. අපේ ඉතිහාසයේ කොටසක් වන රන්කොත් විහාරයත් මෙහි පිහිටා තිබෙනවා. එම වැඩකටයුතු පානදුරින් ආරම්භ කළ ආතර් වී. දියෙස් මහතා වෙනුවෙන් මේ වැඩසටහන් නම් කර තිබෙනවා.
අද කතාවෙන්නේ කුඩුකාරයෝ, අපරාධකාරයෝ ගැනයි
මා කුඩා කාලයේදී ආතර් වී දියෙස් මැතිතුමා පිළිබඳව දැන සිටියා. නමුත් අවාසනාවකට අපේ සමාජයේ අද කතාබහ කරන්නේ ආතර් වී දියෙස් වැනි වීරයන් ගැන නොවෙයි. කවුරුන් හෝ කුඩුකාරයෙක්, අපරාධකාරයෙක් වීරයෙක් කර ඔහු ගැන කතාබහ කිරීමයි අද අපේ සමාජය සිදු කරන්නේ.
මෙම ව්‍යාපෘතිය අපි විවෘත කිරීමට සූදානම්ව සිටියේ පසුගිය අප්‍රේල් 22 වෙනිදායි. අප්‍රේල් 21 වනදා රටේ තත්වය වෙනස් වුණා. රටේ සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා අනාගතය පිළිබඳව තිබූ බලාපොරොත්තු විනාශ වී ගියා. මේ තත්වය තුළින් ගොඩ එන්නේ කෙසේදැයි අප ආණ්ඩුවක් ලෙස කල්පනා කළා. එහිදී පාඨලි ඇමතිතුමා පැවසූවේ ප්‍රශ්නවලට මුහුණ දෙමින් අප ඉදිරියට යා යුතු බවයි.
පසුගිය වසර කිහිපය තුලත් අප ගැටළු වලට මුහුණ දුන්නා. අප විශාල නියගයකට මුහුණ දුන්නා. ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පරාජයට පත්වුණා. ඔක්තෝම්බර් මස දේශපාලන කුමන්ත්‍රණයට හසුවී අපේ ආණ්ඩුවේ බලය බලෙන් අල්ලාගත්තා. ඊටත් සාර්ථකව මුහුණ දෙමින් අප නැවත ආණ්ඩු බලය ලබාගත්තා.
ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා නැවත රටේ සංවර්ධනය ඇද වැටුණා
නියඟයෙන් පසුව රටේ ආර්ථික දියුණුව ඇතිකිරීමට අපි කටයුතු කළා. ඔක්තෝබර් කුමන්ත්‍රණය නිසා නැවතත් රටේ ආර්ථික සංවර්ධනය ඇද වැටුණා. නමුත් ගම්පෙරළිය, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හරහා අපි නැවතත් රටේ ආර්ථිකය නිසිමගට ගත්තා. නමුත් ඉන් පසුව අපේර්ල් 21 ප්‍රහාරයට මුහුණ දෙන්නට අපිට සිදුවුණා. සිංහල අලූත් අවුරුද්ද නිමා වන විටම අපි එම ඛේදවාචකයට මුහුණ දුන්නා. නමුත් නැවතත් අපි රටේ ස්ථාවර කරමින් ඉදිරියට යන බව පැවසිය යුතුයි.
අයි.එස්.අයි.එස්. ත්රස්තවාදයට සම්බන්ධ සියළු දෙනාම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේත් නැත්නම් ඔවුන්ගෙන් සමහරක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අයි.එස්.අයි.එස්. ඉගැන්වීම් වලට සම්බන්ධ වූ අයත් ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ අයත් තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ අයත් පිළිබදව අපි විශාල පරීක්ෂණයක් සිදු කරනවා.
මේ ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය බිද වැටේවි යැයි අපිට විශාල බියක් ඇතිවුණා.ප්‍රහාරය සිදුවී මාස 02ක් ගතවීමටත් පෙර අපි එම සියළු දෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමෙරිකාවේ එෆ්.බී.අයි ආයතනය මට පැවසුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් පුදුමයට පත්වෙන බවයි. මෙතරම් ඉක්මනින් ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව ඔවුන් ප්‍රශංසා කළා. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, වැනි රටවල් පවා අපට එය පැවසුවා.
යහපාලන රජය ගැන ලෝකය විශ්වාසය තැබුවා
2015 දී පත්වූ අපේ යහපාලන රජය පිළිබඳව විදේශ ආයතන සහ රජයන් වල විශ්වාසය තිබූ නිසා ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට හැකිවුණා. පළමු වසර 02 දී අප සිදු කළේ රටේ ආර්ථිකය ගෙන යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමයි. අපි පළමු වසර වල සිදු කළේ කුමක්දැයි ඇතමුන් අපට චෝදනා කළා. නමුත් අපි ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට ප්‍රතිඵල පෙන්නුවා.
අපේ සැලසුම වී තිබුණේ ලෝක වෙළඳපොළ හරහා ඩොලර් බිලියන 2000ක් ලබා ගැනීමයි. එහිදී ඇතැම් අය අපට පැවසුවේ ලෝක වෙළඳපොළින් මුදල් ගන්නට එපා යනුවෙනුයි. නමුත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ අප කෙසේ හෝ ඩොලර් බිලියන 2000 ලබා ගන්නා බවයි. ඊයේ ලෝක වෙළඳපොලෙන් බැදුම්කර ඩොලර් මිලියන 2000ක් ඉල්ලා සිටියා. ඒ වෙනුවෙන් අපිට ඩොලර් මිලියන 6000ක් ලැබුණා. නමුත් අපි ගත්තේ අවශ්‍ය 2000 පමණයි.
ඒ ආකාරයට ශ්‍රී ලංකාව පිළිබදව ජාත්‍යන්තර විශ්වාසය ඇතිවී තිබෙනවා. බෝම්බ ප්‍රහාරයෙන් පසු අපේ ආරක්ෂක අංශ සිදු කළ සේවය නිසාත් අපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසාත් විදේශ රටවල් අපි පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා.
ඇසල පෙරහැර ආරම්භ වන කාලය වන විට යුරෝපීය සංචාරකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අසල්වැසි රට වන ඉන්දීයාවෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. අපේ රටේ සංචාරක හෝටල් වල පහසුකම් අඩු මුදලට ලබා දෙමින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපේ අරමුණ දෙසැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය නැවතත් යථා තත්වයට පත්කර ගැනීමයි. අපි ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු විදෙස් රටවල් ආරක්ෂක අංශ ගැන විශ්වාසය තැබුවා
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය මත විදෙස් රටවල් අපි පිළිබඳව විශ්වාස තැබුවා. එම නිසා විදේශ මුල්‍ය ආයතන අපට අවශ්‍ය මුදල් ලබා දී තිබෙනවා. එම නිසා මාස 03ක් 04ක් ගත වන විට සංචාරක ව්‍යාපාරය නැවතත් යථා තත්වයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ආරක්ෂාව, ආර්ථිකය යන අංශ පිළිබඳව අපි රටේ ජනතාව තුල විශ්වාසය ඇතිකර තිබෙනවා. තුන්වැනිව රටේ සංචාරක ක්ෂේත්රය පිළිබඳවත් විශ්වාසය ඇතිකිරීමට අපි සාර්ථකව කටයුතු කරන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි.
මෙහිදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ද අදහස් දැක්වූහ.
Post a Comment