මාලී මෙහෙයුමට යැවූ යුදටැංකි 12න් අටක් හබක්


හමුදා සෙබළුන් සියගණනගේ ජීවිත අනතුරේ 


එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනුයුකත්ව මාලී රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකා යුදහමුදාවේ බට පිරිස් වල සහයට යවනු ලැබූ යුධ ටැංකි දොළහයෙන් අටක් අබලන් වී ඇතැයි වාර්තා වේ. ජාවාරම්කාර ආයතන විසින් සිදුකොට ඇති මෙම විපත හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකික බටයින්ගේ ජීවිත වල අවදානම වැඩි වී තිබේ. 

මීට වසර කිහිපයකට පෙර, මාලී රාජ්‍යයට, එක්සත්න්ගේ ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා බටපිරිස් යවනු ලැබූහ. 

මාලී යැවූ යුදටැංකි 
සාමාන්‍යයෙන් සාම සාධක හමුදාවට අනුයුක්ත අනුඛණ්ඩයක් එකී රාජ්‍යය වලට යවන විට එම කණ්ඩායමේ මෙහෙයුම් වලට අදාළ ආරක්ෂක භාණ්ඩ යැවීමද එම බටපිරිස් නියෝජනය කරනු ලබන රාජ්‍යය විසින් සිදුකළ යුතුය. ඒ අනුව මාලි රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා යුදහමුදා බටයින් සඳහා, නවීකරණය කරනු ලැබූ (රීපබිෂ්) බී.ටී.ආර්. වර්ගයේ යුධ ටැංකි 12ක් යවනු ලැබීය. 

අදාළ නවීකරණය කිරීම කරනු ලැබුවේ ලංකා ලොජිස්ටික් ආයතනය මගින් තෝරා ගත් ආයතනයක් විසිනි. ටෙක් ඉම්පෙක්ශ් නමැති මෙම ආයතනය යුක්රේනයේ පිහිටි යුක්රේන්මාෂ් ආයතනය සමග ගනුදෙනු කරන ආයතනයකි. යුදටැංකි නවීකරණය කිරීම මෙම ආයතනය විසින් සිදුකොට ඇත්තේ ලංකා ලොජිස්ටික් ආයතනයේ අනුමැතිය පරිදිය. 

අදාළ නවීකරණය කිරීම සඳහා එක් යුද ටැංකියකට අවම වශයෙන් මිලියන හයකට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති නමුත්, අදාළ සමාගම් සහ දේශීය ගනුදෙනුකරුවන්ගේ වංචාවන් හෝ නොසලකිල්මත් කම නිසා එය නිවැරදිව සිදු කොට නැත. 

යුධටැංකි නවීකරණය කිරීමේදී ඒවා ස්ථාන ගතකිරීමට බලාපොරොත්තු වන මෙහෙයුම් ප්‍රදේශ වල තත්වයන්ට උචිත වන පරිදි කළ යුතු වේ. නමුත්, මෙම යුදටැංකි දොළහම, බිම් බෝම්බ වලට ඔරොත්තු නොදෙන මට්ටමින් නවීකරණය කර ඇත්තේ, අදාළ ගනුදෙනුව ලබා ගන්නා අවස්ථාවදී මෙම ආයතන පොරොන්දු වූ කරුණු රාශියක් හිතා මතාම මඟ හරිමිණි. ඉන් පසු මෙහෙයුම් වලට යොදවා සති කිහිපයක් ඇතුළත එම ටැංකි වල එන්ජිමෙහි බරපතළ දෝෂ  ඇතිබව හෙළිදරව් විය. 

මේ අතර, ආරක්‍ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ, මෙරට දේශීය ව්‍යාපාරිකයෙකුගේ වුමනාව මත, හෙලිකොප්ටර් නඩත්තු කරන සහ නවීකරණය කරනු ලබන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලිකකතා බහක් ඇති වී තිබේ. අදාළ කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍යය මූලය අවශ්‍යතාවය, රාජ්‍යය ණය මුදලක් ලෙස ලබා ගැනීමට තීරණය කොට ඇත. 

අදාළ ව්‍යාපෘතිය සඳහා යෝජනා කොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන හැටකට ආසන්න වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ මූලාශ්‍ර පෙන්වා දෙනු ලබන්නේ එවැනි කර්මාන්ත ශාලා දෙකක් හෝ තුනක් තැනීමට හැකි මුදල එක් කරමාන්ත ශාලාවක් තැනීමට යෝජනා වී ඇති බවයි. මෙම ගනුදෙනුව ඔස්සේ රටේ ජනතාව තව දුරටත ලෝකයට ණය කාරයින් කොට අතරමැදියන්ට ලබා ගතහැකි වාසිය කෙතරම්ද යන්න මින් නිගමනය කළ හැකිය.