‘‘මාධ්‍යයෙන් අසත්‍ය ප්‍රචාරය කිරීමෙන් නොසන්සුන්තාව වැඩිවෙනවා‘‘ - යුරෝපා සංගමය



මේ වනවිට රටේ පවතින වාතාවරණය ගැන අද (12) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරන යුරෝපා සංගමය පවසන්නේ සාමය හා සංහිඳියාවට බාධා වන අයුරින් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් ගැන තමන් දැඩි අවධානයක් යොමු කරන බවත් මාධ්‍ය මගින් අඛණ්ඩව අගතිගාමී, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් නොසන්සුන්කාරී තත්ත්වයක් වර්ධනය වන බවයි. 


අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ,

‘‘සාමය සහ සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්කර ගනිමින් ක්‍රියාත්මකවන දේශපාලනික සහ ආගමික බලපෑම් පිළිබඳ අපගේ දැඩි අවධානය යොමුවී ඇත. මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සහ සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණි.

අද දින ගරු අග්‍රාමාත්‍යතුමා සමග පැවති රැස්වීමකදී අපි අපගේ අදහස් එතුමාට දැන්වීමු. එහිදී අපි වෛරී ප්‍රකාශවලට එරෙහි වීමට සහ ආගමික සංහිඳියා මණ්ඩලයක් ස්ථාපනය කිරීමට රජය දක්වා ඇති කැපවීම අපි පිළිගත්තෙමු.

සියලු ප්‍රජාවන් අතර සාමකාමී යහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට අප සහයෝගය ලබාදෙන අතර ආගමික සහ අනෙකුත් ප්‍රජා නායකයන් ද ඔවුන්ට සහයෝගය ලබා දීමටත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ද හඬ නගනු ඇති බවත් අපි අපේක්ෂා කරමු.

අන්‍යොන්‍ය ගරුත්වය, සාධාරණත්වය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් සියලු දේශපාලන නායකයන්ගෙනුත් තරයේ ඉල්ලා සිටිමු.‘‘ යන්නයි.