අගමැතිවරයා හා සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී අගමැතිවරයා අවධාරණය කළේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් කාත්තන්කුඩියේදී ජාතිවාදය අවුස්සමින් කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මඩකලපුව උසස් අධ්‍යාපනය ආයතනය රජයට පවරාගන්නා බවත්, රිෂාඩ් බදියුද්දීන්ට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනම් කළයුතු බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ,
කැබිනට් මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වූ පමණින් එය අහෝසි වන්නේ නැහැ
‘‘කැබිනට් මණ්ඩලයේ රැස්වීම් නොපැවැත්වූ පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ. බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධූරයට මා පත්වී තිබෙන්නේද, මා විසින් කැබිනට් මණ්ඩලය පත්කොට තිබෙන්නේද පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි. එසේම තේරීම් කාරක සභාව පත්කර තිබෙන්නේද පාර්ලිමේන්තු අනුමැතිය සහිතවයි. එබැවින් තේරීම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ.
බදියුදීන් ගැන කඩිනමින් විමර්ශන කරන්න
අප තේරීම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු කාරණය වන්නේ, රිෂාඩ් බදියුද්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාගකොට ඉක්මණින් තීරණයක් ලබාදෙන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත්කොට ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මාසයේදී විවාදයට ගන්නා බැවින් එයට පෙර මේ පිළිබඳව තීරණයක් ලබාගැනීම වැදගත් වෙනවා. අප ඉල්ලා සිටි දෙවන කරුණ වන්නේ බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙනවිට මාධ්‍ය ඉවත්කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.
හිස්බුල්ලා කී කතාව ප්‍රතික්ෂේප කරනවා
එමෙන්ම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේදී කර තිබූ ප්‍රකාශය රජය තරයේ හෙළා දකිනවා. ජාතිවාදී කතා තුළින් සංහිදියාවට විශාල හානියක් සිදුවෙනවා. අප කටයුතු කළයුත්තේ ශ්‍රී ලාංකිකයින් වශයෙනුයි. අප රටේ උපාධි ලබාදෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේද රජයට පමණයි. එමනිසා නැගෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමටද අප කටයුතු කරනු ලබනවා.
අප්‍රේල් 21 දින සිදුවීමෙන් පසුව අපට ජාතිවාදී ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවුණා. කෙසේ වෙතත් අප ක්‍රියාකරනු ලබන්නේ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සංඝයා වහන්සේලා සමගත් අන්‍යාගමික පූජකවරුත් සමගත් සාකච්ඡාකොට තිබෙනවා. ඔවුන්ගේ අදහස වන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇතිකළ යුතුය යන්නයි. ඒ සම්බන්ධයෙන් අප මේ වනවිට කටයුතු කරමින් තිබෙන අතර, හැකි ඉක්මනින් ආගම් අතර සංහිඳියාව ඇතිකිරිම සඳහා අප රජය විසින් මෙම ආගමික සංහිඳියා මණ්ඩලය පිහිටුවීමට අවශ්‍ය පියවර ගනු ලබනවා.‘‘ යන්නයි.
Post a Comment