ශක්තිකට සාමාන්‍ය නීතිය යටතේ චෝදනා ගොනු කෙරෙන ලකුණු



මුහුණුපොතේ පළකල 'අර්ධ'  ‍කෙටිකතාව මගින් ආගමකට අපහාස කළ බවට වූ චෝදනාව මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ චෝදනා ගොනු කෙරුණු ශක්තික සත්කුමාර ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය. 

නමුත්, ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මීට පෙර නඩු වාරයේදී අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ නීති ප්‍රතිපාදන වැරදි ලෙස භාවිත කිරීමක් බව ය. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා දිගින් දිගටම අවධාරණය කර තිබුණේ මෙම පනත යටතේ චෝදනා ගොනු කර ඇති නිසා තමන්ට ඇප ලබාදීමට බලයක් නැති බවයි.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම වෙනුවෙන් පවරා ඇති නඩුව යළි ලබන 26 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති අතර, මහාධිකරණයේ මීළඟ නඩු දිනයට පෙර එම කටයුතු සිදු වනු ඇති බවට නීතිඥවරු විශ්වාසය පළ කරති. 

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත වෙනුවට සාමාන්‍ය නීතිය යටතේ ඔහුට චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරයි. එසේ වුවහොත් ලබන 18 දා මහේස්ත්‍රාත් අධිකරණයේදී ශක්තික සත්කුමාරට ඇප ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි නීතිඥවරු වැඩිදුරටත් සඳහන් කර සිටිති.