''ගල් පිළිම යට වෙලා - බොල් පිළිම කරළියට ඇවිල්ලා'' - අනුර


අන්තවාදය, ජාතිවාදය, ජාතික හා මහජන ආරක්ෂාව මෙන්ම ජාතික සමගිය තහවුරු කරගැනීම අරමුණු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද (4) විශේෂ යෝජනා මාලාවක් එළිදැක්වීය. මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ මේ මොහොතේදී ජනතාව තාර්කික බුද්ධියට වඩා ආවේගශීලීව හැසිරෙන බැවින් රට තවත් විනාශකාරී තත්ත්වයකට මුහුණපානු ඇති බවත් සැබෑ ජනතා සංවාදයක් රටට ගෙන යාමට මේ වැඩපිළිවෙලට මුල පිරූ බවත්ය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 


ගල් පිළිම යටගොස් බොල් පිළිම කරළියට 

''අපි දන්නවා මේ වෙලාව කියලා කියන්නේ, ගල් පිළිම යටත් වෙලා යට යමින්, බොල් පිළිම කරළියට ඇවිල්ලා තියෙන වෙලාව. සත්‍යය, යුක්තිය, බුද්ධිය යටපත් කරමින්, ඝෝෂාව, සද්දේ උඩට ඇවිල්ලා තියෙන වෙලාව. මෙවැනි අවස්ථා වලදී ජනතාව බොහෝදුරට හැසිරෙන්නේ බුද්ධිය තර්කන ඥාණය මත නෙමෙයි. මේ මොහොතේ සමාජය හැසිරෙමින් තිබෙන්නේ ආවේගය, හැගීම් මත. ඒ ආවේගයට ඒ හැගීම් වලට අපේ රට යළි ගොඩනැගිය නොහැකි පන්නයේ අතිශය විනාශකාරී අත්දැකීම් ගෙනැත් දිය හැකිව තිබෙනවා. 



දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප කළයුත්තේ කුමක්ද ?

ඒ නිසා මේ මොහොතේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට, මේ රටට වගකියන පුරවැසියන් හැටියට අපි හැමදෙනාගේම වගකීම තමයි සමාජය වෙත බුද්ධිය හා තර්කන ඥාණය ගෙනයාම. එසේ නොවන්නේ නම් මේ රට යළි ලේ විලක් බවට පත්වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා අපගේ ප්‍රවේශය තියෙන්නේ, කවර ප්‍රවේශයක්ද ? දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප අපගේ තීන්දු, තීරණ සකස් කරගත යුත්තේ කවර දිශාවකටද ? අප අපගේ තීන්දු තීරණ සකස්කරගත යුතු වන්නේ මේ මොහොතට පමණක් නිවැරදි වෙන්න නෙමෙයි, අනාගතයටත් නිවැරදි වෙන්න. ඒ නිසා තමයි අපේ පක්ෂය කල්පනා කළේ මේ ඇතිවී තිබෙන කලබැගෑනිය, මේ ඇතිවී තිබෙන අස්ථාවරභාවයෙන්, මේ ඇතිවී තිබෙන ගල් පිළිම යට යමින් බොල් පිළිම රගපෑම් කරලියේ බඩ පිනුම් ගැසීම් යටපත් කරගනිමින් සැබෑ ජනතා සංවාදයක් රටට ගෙන  යා යුතුව තිබෙනවා.'' යන්නයි.