''මිහින්තලය වාර්ෂික පෙරහැර රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වනවා'' - අගමැති


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් සහ පොසොන් උත්සව උත්සවාකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන්ට වුවමනා වූ බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ, ඒ අනුව අදාළ ආයතන සමග සාකච්ඡා කරමින් එම කටයුතු සාර්ථකව සිදු කළ බව ඊයේ (16) මිහින්තලයේ දී පැවසීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

මිහින්තලා භූමියේ ආලෝක පූජාවට සහභාගීවීම මා ලැබූ භාග්‍යයක් 

“සිරිත් පරිදි මිහින්තලා පූජා භූමියට පැමිණ මේ ආලෝක පූජාවට සහභාගි වීමට මට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. මිහින්තලා චෛත්‍ය වන්දනා කිරීමට මම පළමු වතාවට මෑණියන් සමග මිහින්තලයට පැමිණෙන විට මෙහි විදුලිය තිබුණේ නැහැ. එකල මිහින්තලා ආලෝක පූජාව සඳහා විදුලිය ලබාගත්තේ ජෙනරේටර් යන්ත්‍ර මගිනුයි. වර්තමානය වන විට මිහින්තලය පූජා භූමිය විශාල දියුණුවක් ලබා තිබෙනවා. 

සිරිත් පරිදි ආලෝක පූජාව පැවැත්වීම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සියල්ල බාර ගෙන සිදු කරන බව එම ආයතනය මා වෙත දැනුම් දී තිබුණා. සිරස මාධ්‍ය ආයතනය දශක දෙකක් පුරාවට මෙම පුණ්‍ය කටයුත්ත පිළිබඳව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා දෙනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අපට අවශ්‍ය වුණා. එම නිසා එක් එක් අංශ වෙත කතා කරමින් එම උත්සව පැවැත්වීමට පවතින හැකියාව පිළිබදව අප සොයා බැලූවා. 

වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියන් සහ පී. හැරිසන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් අවශ්‍ය උදව් උපකාර ලබාදීමට මා කටයුතු කළා. ඒ වගේම චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමියට මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස මා උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳව සොයා බලා ඒවා ඉටු කිරීමේ වගකීම බාරගත්තා. විදුලි බල අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා මේ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය විදුලි බලය ලබාදීමට කටයුතු සම්පාදනය කර දුන්නා. ඒ වගේම අනෙකුත් වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම වජිර අබේවර්ධන අමාත්‍යවරයා බාරගෙන එම කටයුතු සිදු කළා.

මිහින්තලය පූජා භූමිය හා එහි කෙරෙන ආගමික වැඩසටහන් වල අඩුපාඩු ගැන සොයාබලනවා

මිහින්තලය පූජා භූමිය සහ එහි සිදු කෙරෙන ආගමික වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳව අපේ වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළා. මිහින්තලය වාර්ෂික පෙරහර රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරු සමඟ සාකච්ඡා කර අවශ්‍ය පිළියම් යෙදීමට මම කටයුතු කරන බව කිව යුතුයි.

මිහින්තලය ශුද්ධ වූ පූජා භූමියක්... ඒ වගේම අපගේ ඉතිහාසයේ මුල් ආරම්භයයි. ථෙරවාදී බුද්ධාගම ලෝකයේ පවතින්නේ මිහිඳු හිමියන්ගේ මිහින්තලා ගමනය නිසයි. සිංහල ජාතිය ඇති වුණේ අනුරාධපුර යුගයේදීයි. මිහින්තලා පූජා භූමියට තිබෙන ස්ථානය හා වැදගත්කම අපි අවිවාදයෙන් යුතුව පිළිගන්නවා.
මේ වන විට ශ්‍රී මහා බෝධි පරිශ්‍රය සහ මහා විහාරයේ අවශ්‍ය කැණීම් සහ සංරක්‍ෂණ කටයුතු සිදුකිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරම්භය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගයි. පණ්ඩුකාභය රජ සමයටත් පෙර ආරම්භ වූ සිංහල ගමක් ලෙස අනුර ග්‍රාමය සැලකෙනවා. සිංහල ජනතාව මුලින්ම ජීවත් වූයේ මල්වතු ඔය ආශ්‍රිතව වූ අතර පසුකාලීනව යාංඔය ප්‍රදේශයටත් ව්‍යාප්ත වුණා. ඒ අනුව අපි මේ වන විට මල්වතු ඔය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරියේ ද මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. 

යාං ඔය ආශ්‍රිතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා

යාං ඔය ආශ්‍රිතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා. මල්වතු ඔය ජලාශය ඉදිකර ඒ ප්‍රදේශ දියුණු වීමත් සමඟ මිහින්තලය ඇතුලූ අනුරාධපුර දියුණුවත් ඇති වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ දියුණුවත් සමග අපේ ශිෂ්ඨාචාරයේ මූලස්ථාන දැක බලා ගැනීමට සහ ඉතිහාසය දැන ගැනීමට සියලූ දෙනාට අවස්ථාව ලැබෙනවා. 

ආගමික වතාවත්වලට මූලිකත්වය ලබාදෙමින් පොසොන් උත්සවය සැමරීමට අද දිනය වෙන් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය ඇතුලූ ආණ්ඩුව කටයුතු කරන්නේ ලිච්ඡවී රජදරුවන්ට ලබාදුන් උපදෙස් අනුවයි. අපි කිසි විටෙක එම උපදෙස්වලින් බැහැර වී කටයුතු කරන්නේ නැහැ. විවිධ දේශපාලන ක්‍රමවලට පුරුදු වූ රටක් ලෙස අපේ සියලූ දෙනාම එකවර ලිච්ඡවී රාජ්‍ය පාලන ක්‍රමයකට ගමන් කරනවා යැයි කියා මට කිව නොහැකියි. නමුත් වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේත්, මමත් එම ස්ථාවරයේ සිටීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. 

අපේ වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මිහින්තලය පූජා භූමිය දියුණු කිරීමට විශාල වෙහසක් දරා තිබෙනවා. එම දියුණුව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් ලබා දීමට මම පොරොන්දු වෙනවා.” යන්නයි.