''රජය කටයුතු කරන ආකාරය පිළිකුල් සහගතයි'' - රාවුෆ් හකීම්


රජය කටයුතු කරන ආකාරය දැඩි පිළිකුල් සහගත බවත් නොයෙකුත් හිරිහැර මධ්‍යයේ මුස්ලිම් ජනතාව නිහඬව සහයෝගය ලබාදුන්නද විටින් විට වෛරය, ක්‍රෝධය පතුරුවන ක්‍රියා සිදුවන බවත් පරීක්ෂණ වලට සහය දීම වෙනුවෙන් මුස්ලිම් මැති ඇමතිවරු රජයේ නිළතල වලින් ඉල්ලා අස්වන බවත් රාවුෆ් හකීම් අද (3) සවස අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 

අපි හැමදෙනාම ඉල්ලා අස්වෙනවා 

''රජ‍යේ නිළතල දරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු හැමදෙනාම අපි ඉල්ලා අස්වීමට තිරණය කළා. මේ රටේ සාමය, සංහිඳියාව ඇතිවෙලා තියෙන මේ කලබගෑනිය ඒ වගේම මේවට උඩගෙඩි දෙන බලවේග එල්ල කරන චෝදනා පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. 


ඒ පරීක්ෂණය පැවැත්වීම සඳහා චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා, ඒ චෝදනාව පිළිබද තීරණය ගත යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. අපි මේ රටට හිතෛෂී. අපි මේ රටේ ආරක්ෂාව කහවුරු කළයුතුයි. ඒ සඳහා වූ උපරිම සහයෝගය අපි උපරිම ලෙස ලබාදීලා තියෙනවා. 

ආණ්ඩුව බෙලහීන කරන ක්‍රියාදාමයකට යන්නේ නැහැ 

නමුත්, නොයෙකුත් හිරිහැර මධ්‍යයේ අපේ ජනතාව නිහඬව අපෙන් දිය යුුතු සම්පූර්ණ සහයෝගය ලබාදීලා තියෙද්දිත් නමුත්, විටින් විට මේ රටේ වෛරය ක්‍රෝධය ඇතිකරන විදියේ ක්‍රියාදාමයන් පිළිබඳව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිළිකුට පත්වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා මේකට විසඳුමක් හැටියට අපි ආණ්ඩුවේ ඇමතිධූර අත්හැරලා හිටියත් අපි මේ ආණ්ඩුව බෙලහීන කරන කිසිම ක්‍රියාදාමයකට යන්නේ නැහැ. 

නායකයින් ලෙස අපි වින්දිතයින් වීම ගැන කණගාටුවක් නැහැ 

අපි ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරනවා. ආණ්ඩුව රැකීමට, මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවට ආරක්ෂාව සපයනවා. ඒ පිළිබඳව විශාල පිළිකුලක් අපේ ජනතාවට තියෙනවා. ඊයෙයි අදයි සිදුවුණු නොයෙකුත් සිදුවීම් මධ්‍යයේ විශාල භීතිකාවක් අපේ ජනතාවට ඇතිවෙලා තියෙනවා. ඒ ජනතාව අහිංසකයි. යම් සුළු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමය මුළු මුස්ලිම් ජනතාවම වින්දිතයින් වෙලා ඉන්න අවස්ථාවක් මේක. නායකයන් හැටියට අපි වින්දිතයින් වීම ගැන කිසිම කණගාටුවක් නැහැ. නමුත්, අපි බලාපොරොත්තු වෙනවා මේකට යම් කෙළවරක් අවශ්‍යයි. මේ රට එක්සේසත් කළයුතුයි'' යන්නයි.