''විදේශීය හමුදා මෙරටට ගෙන්වන්නේ නෑ‘‘ - ජනපති


කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (01) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් පැවසුවේය. 

විදේශීය හමුදාවන් මෙරටට නොගෙන්වන ලෙසත්, එසේ ගෙන්වනවා නම් ඊට තමන් විරුද්ධ බවටත් මහානායක ස්වාමින් වහන්සේලා සිදු කළ ඉල්ලීමක් පිළිබඳ ඊයේ දින පුවත්පතක පළවී තිබු වාර්තාවක් පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කිසිදු තැනක කිසිවෙකු සමඟ එකඟතාවක් ඇතිකරගෙන නොමැති බවයි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩුඅදායම්ලාභී ජනතාව වෙනුවෙන් සමෘද්ධි ප‍්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් පැවති මෙම උත්සවය හතර ඇළ රජ රට නවෝදය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

රටේ අඩුආදායම්ලාභි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් දිළිඳු බව තුරන් කිරීමට රජය ගත් පියවර රැසක් අතර ලක්ෂ 14 ක් වන සමෘද්ධිලාභින්ගේ ප‍්‍රමාණය ලක්ෂ 20 ක් දක්වා ඉහළ නැංවීමට රජය මේ වසරේ තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සැමදා ප‍්‍රතිලාභියෙකු නොවී ස්ව ශක්තියෙන් නැඟී සිටීමේ වැදගත්කම ද පෙන්වා දුන් ඔහු කියා සිටියේ ඊට අත්වැල සැපයීමට ද වත්මන් රජය වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබෙන බවයි.

රටේ දුගී භාවය වැඩිවීමට පවතින හේතු ගණනාවක් ද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැම් දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් සොරකම් කිරීම මෙන්ම රජයට ලාභ උපයාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන බරපතළ වංචා සහ දූෂණ හේතුවෙන් එම ආයතන අතිවිශාල අලාභයක් ලැබීමත්, ඒ හේතුවෙන් රට හමුවේ ගොඩනැගී ඇති ණය කන්දත් රටේ දුගී භාවය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බව පැවසීය. අප ජාතියක් ලෙස නිදහස ලබාගත්ත ද ආර්ථික නිදහසක් ලබාගත නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිදුවන එම වංචාව සහ දූෂණය නිසා බව ද කියා සිටියේය.


මහජනතාව නොමග යවමින් ඇතැමුන් මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව ද කනගාටුව පළ කළ ඔහු රට තුළ අවුල්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙම පටු අවස්ථාවදීන්ගේ අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් බවත් එහිදී රට වෙනුවෙන් මාධ්‍ය වෙත ද වගකීමක් පැවරී ඇති බවත් සඳහන් කළේය.

අද තමන් රට වෙනුවෙන් ලෝකය දිනාගෙන තිබෙන අතර, සියලු ලෝක නායකයන්ගේ සහය තමාට හිමිව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඊට සතියක් ඉක්ම යන්නට මත්තෙන් තම ඉල්ලීම පරිදි ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ ත‍්‍රස්තවාදී සිදුවීමක් හමුවේ ඉතාමත් කෙටි කලක් තුළ සාමකාමී පරිසරයක් උදා කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වීම පිළිබඳ සිය අතිශය ප‍්‍රසාදය පළ කරමින් බවත් කියා සිටියේය.