''රටේ වඩු කර්මාන්තය දියුණු කරන්න අවශ්‍යයි'' - අගමැති


වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඊයේ (10) දින අරලියගහ මන්දිරයේදී මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ පැවති පැවැති විශේෂ සාකච්ඡාවකදී අවධාරණය කළේය. 

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ අගමැතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත්, එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කළේය. 

අපේ ආණ්ඩුවට අවශ්‍ය රටේ වඩු කර්මාන්තය දියුණු කිරීමයි 

''අපේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රටේ වඩු කර්මාන්තය දියුණු කිරීමයි. වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය ආධාර උපකාර රජය විසින් ලබා දෙනවා. ඒ වගේම රටේ දැව සම්පත ආරක්‍ෂා කිරීමත් රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස අප සලකනවා. රටේ සමස්ථ වනගහණය මේ වන විට 28% ක පමණ අගයක් ගන්නා අතර, අපට අවශ්‍ය වන්නේ එම ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමටයි. ඒ අනුව රටේ දැව සම්පත වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. 

ජනපතිතුමා කිව්වේ ජංගම වඩු කර්මාන්ත ගැනයි 

ජනාධිපතිතුමා පසුගියදා සඳහන් කළේ රටේ වනාන්තර ආරක්‍ෂා කර ගැනීම පිළිබඳව පමණයි. එතුමා පැවසුවේ රටේ තිබෙන ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ තහනම් කිරීම පිළිබඳවයි. ජංගම වඩු කර්මාන්ත ශාලා සහ චේන්ෂෝ භාවිතය ඉහළ යනවා නම් රටේ වනගහණය 28% ටත් වඩා පහළ මට්ටමකට පත් වෙනවා. 

කිසිම අවස්ථාවක රටේ වඩු කර්මාන්තයට බාධා වන ආකාරයට මැදිහත්වීමට අපට අවශ්‍ය නැහැ. රටක් ලෙස වඩු කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි. 2003 වසරේදී අපි වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා. නමුත් එම වැඩකටයුතු ඉදිරියට කර ගෙන යෑමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. එම නිසා වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන අපි නැවත ක්‍රියාත්මක කරනවා. මෙම ක්ෂේත්‍රය නවීකරණය කිරීමේදී ගැටළු ගණනාවක් මතු වෙනවා.  මුදල් ගැටළු, අලෙවි කිරීමේ ගැටළු සහ තාක්‍ෂණය ලබාගැනීම පිළිබඳ ගැටළුත් මීට බලපානවා. 

මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හොඳින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්ව විද්‍යාලය, අප අලූතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබාගත හැකියි.  

වඩු කර්මාන්තය ගැන ඉදිරිපත් වූ චක්‍රලේඛ ගැන සාකච්ඡා කරනවා 

මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩකටයුතු කරගෙන යෑමේ ගැටළුවක් ඇතිවන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. 


මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවල්වලටත් ලබාදිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් වඩු කර්මාන්තයට ණය ලබාදෙනවා 

ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. 

අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි.