මඩකලපුව අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාලයක් කරන්නැයි ඉල්ලීමක්



ආන්දෝලනයට තුඩු දී ඇති මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය මුදල් අය නොකරන විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස පවසමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගියදා (6) නිවේදනයක් නිකුත් කර තිබේ. 

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, 

''Batticaloa campus යන නමින් හඳුන්වනු ලබන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය නිසා රට තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ. මඩකළපු දිස්ත‍්‍රික්කයට අයත් වාලච්චේන පුනානි ප‍්‍රදේශයේ මහවැලි බී කලාපයට අයත් අක්කර 35 ක ඉඩමක් අවුරුදු තිහක දීර්ඝකාලීන බදු පදනමට ලබාගත් පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයකු ව සිටි වර්තමාන නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධූරය දරන එම්.අයි.එම්. හිස්බුල්ලා මහතා ආරම්භ කළ හීරා පදනම විසින් මෙම ආයතනය අරඹා ඇත.

2013 වර්ෂයේදීය එවකට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුල් ගල තබා ආරම්භ කළ මෙහි අරමුණ වූයේ වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීමයි. මෙහි මුල්ම නම වූයේ මලික් අබ්දුල්ලා යුනිවසිටි කොලේජිය යන්නයි. පසුව උසස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාලයක් බවට ලියාපදිංචි කිරීමට අවසර ඉල්ලා ඇත.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු අනුව 2015 ජූලි තුන්වන දින මෙය විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කිරීමට ඉල්ලා ඇති බවත් ඒ සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අවසර දී නොමැති බවත් පවසයි.එහෙත් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියා පදිංචි කර ඇති මෙය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස එනම් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යා හැකි බව නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා පවසයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද එම අදහස තහවුරු කරන ප‍්‍රකාශයක් සිදුකර තිබුණි.

අප‍්‍රියල් 21 සිදු වූ සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයත් සමග මෙම අධ්‍යාපන ආයතනය පිළිබඳ කතාබහ මතු වූ අතර එහි නීති පීඨයේ ෂරියා නීතිය ඉගැන්වීමට යන බවත් මුදලට උපාධි විකුණන ආයතනයක් බවත් තොරතුරු හෙළිවෙමින් පවතී. එමෙන්ම වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා වෛද්‍ය උපාධි පාඨමාලාවක් ද ආරම්භ කිරීමට නියමිත බව පෙනේ.

අධ්‍යාපනයෙහි අවස්ථා ලැබිය යුත්තේ ජාතිකත්වය, ආගම, ස්ත‍්‍රී පුරුෂ භාවය, කුලය, දේශපාලන සම්බන්ධතා හා මුදල මත නොවේ.එය ලැබිය යුත්තේ අදාළ පුද්ගලයාගේ සහජ සුදුසුකම් මතය. යම් ආයතනයක අධ්‍යාපන අවස්ථා තීරණය වන්නේ ජාතිකත්වය, ආගම, හා මුදල මත නම් විශ්වීය ලෙස පිළිගත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වේ.

මෙම ආයතනය පිහිටුවීම හුදෙක් මුස්ලිම් ව්‍යාප්තවාදයට දරනු ලබන උත්සහයක් ලෙසට ලඝු නොකර මෙවැනි ආයතන බිහිවීමට පොළඹවන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයග 1970රැ80 කාලයේ සිට අද දක්වා මෙරට පවතින්නේ සමාජ-ආර්ථික වශයෙන් දියුණු රටක් සහ ඒ තුල යහපත් පුරවැසියකු බිහිකරන සැලසුම්ගත අධ්‍යාපන ක‍්‍රමයක් නොව නිර්බාධක වෙළඳපොල අධ්‍යාපන ක‍්‍රමයකි. ඒ අනුව රජය අධ්‍යාපන ලබාදීම සම්බන්ධ වගකීමෙන් ඉවත්වන අතර මෙරට හෝ පිටරටක මූල්‍ය ප‍්‍රාග්ධනය අත්පත්කර ගත හැකි පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට තම අභිමතය පරිදි නිදහසේ  ඕනෑම දෙයක් උගන්වා  ඕනෑම උපාධියක් විකිණිය හැක. අධ්‍යාපන කර්මාන්තයේ මුදල් ආයෝජනය කරන ආයෝජකයාට මූල්‍ය හෝ වෙනත් ප‍්‍රතිලාභ ලබා ගත හැක. අධ්‍යාපනයේ අඩංගුව අන්තවාදී රටට හානිකර වුවද ඒවා ගැන සොයා බැලීමට ආයතන නැත. එකම අවශ්‍යතාවය අධ්‍යාපනය විකුණන වෙළඳපොලක් පවත්වාගෙන යාම පමනි. මඩකලපුවේ පිහිටි මෙම ආයතනය ස්ථිපිතවීම සඳහා භාවිතා කරන්නේද සයටම් ආයතනය අනුගමනය කල ක‍්‍රියාමාර්ග පෙලමය.

මෙරට අධ්‍යාපනයේ පරිහානියට හේතුවූ මෙම ප‍්‍රතිපත්තිය හේතුවෙන් අර්බුධයට ලක්ව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය පමණක් නොවන බව දැන් පැහැදිලිය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ආන්දෝලනයට තුඩු දී ඇති මෙම ආයතනය ඉදිකිරීම් සිදු කළ ආකාරය හා මුදල් ලැබුණු ආකාරය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුය. ඉන්පසුව මේ ආයතනය රජයට පවරාගෙන මුදල් අය නොකරන අපොස් උසස් පෙළ විභාගයේ කුසලතා මත ශිෂ්‍යයන් ඇතුලත් කරගන්නා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම කළ යුතුය.'' යන්නයි.