''සෑම රටකම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්'' - ජනපති


ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (15) ටජිකිස්ථානයේ, දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකළ කතාව. 


CICA සමුළුව තුළින් යහපත් ලෝකයක් දිනා ගනිමු 

''CICA සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම පිළිබදව පළමුවෙන්ම මගේ ගෞරවණීය ස්තුතිය මා පුද කරනවා. විශේෂයෙන්ම ආසියාතික රටවල සාමාජිකත්වය දරන CICA අනාගත ලෝකයට මුහුණදීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙසයි අපි කවුරුත් සලකන්නේ. ඒ නිසා අප CICA සමුළුව තුළින් යහපත් ලෝකයක් දිනා ගැනීමට සහ සාමයට කැපවිය යුතු වෙනවා.

සාමයට කැපවීමේ දී අප සියලුදෙනා තුළ තිබිය යුතු සමගිය සහ සහෝදරත්වය ඉතා බලවත්. පසුගිය අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මම මෙහිදී ඉතා වේදනාසහගතව සිහිපත් කරනවා. එම ත්‍රස්ත ප්‍රහාරය සමග ශ්‍රී ලංකාව තවමත් කටයුතු කරන්නේ එම අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහායි. ශ්‍රී ලංකා රජයටත්, අපගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය පැහැදිළිව තිබෙනවා.

ත්‍රස්තවාදය පරාජය කරන්න සහෝදරත්වයෙන් එක්වෙන්න

CICA සාමාජික රටවල් ලෙස මෙම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දෙන්න එපා කියලා මම මෙහිදී ඉල්ලා සිටිනවා. ඉදිරි සියවස අසියාවේ සියවස ලෙස සාමයත් ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. මේ සියලුදේට අවශ්‍ය වන්නේ අධි තාක්ෂණය තුළ සාමය ගොඩනැඟීමයි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට CICA කැපවිය යුතුයි කියා මම විශ්වාස කරනවා.

මානව හිමිකම් කඩවන රටවල තිබෙන ස්වාධිනත්වයට හානිකරන්න එපා කියා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. සෑම රටකම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්. රටවල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම හෝ රටවලට තර්ජන සහ බලපෑම් කිරීම කිසිවිටෙකත් සිදු නොවිය යුතුයි. CICA සාමාජික රටවල ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිපත්ති සෑමවිටම සරළ විය යුතුයි. තිරසර සංවර්ධනය සඳහා කැපවී සිටින අප තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා CICA ප්‍රතිපත්ති ශක්තිමත් කළ යුතුයි. ඒ නිසා ඔබ සියලුදෙනාගෙන්ම මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමගිය ශක්තිය පෙරදැරිව CICA සමුළුව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමයි.

දුගීභාවය තුරන් කරන්න සාමය වැදගත් වෙනවා 

CICA සමුළුව ප්‍රධාන වශයෙන් අනාගත අභියෝග හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. ඒ තුළ අපට ඉදිරියට යාම වඩාත් පහසුයි. මේ සියල්ලටම අවශ්‍ය වන්නේ සමගිය. ඒ වගේම සාමය. සාමය තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට පුළුවන්. මෙහිදී කලාපීය සාමය ඉතාමත් වැදගත්. කලාපීය සමගිය ශක්තිමත් කිරීමට CICA අරමුණු ඉතා වැදගත් වේ යැයි මා විශ්වාස කරනවා.


ඒ වගේම සාමය වැදගත් වෙනවා දුගී භාවය තුරන් කිරීමට. සාමය දුගී භාවය තුරන් කිරීමට වැදගත් වගේම දුගී භාවය අවම කිරීමට ත්‍රස්තවාදය අවසන් කළයුතු වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් CICA අරමුණුවලදී සාමය සහ සමගිය ඉතා වැදගත්, ආර්ථික අරමුණු ශක්තිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. අනාගත සියවසේ දී ආසියාව සම්පූර්ණයෙන් දුගී බවෙන් තොර ආසියාවක් කර ගැනීමට අප සම්පූර්ණයෙන් කැපවිය යුතු වෙනවා. එම අරමුණු ඉටුකර ගැනීමට ඔබ අප සියලුදෙනා එක්ව කැපවෙමු යැයි මම සියලුදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා.'' යන්නයි.