''ශක්තිකගේ සිද්ධිය ප්‍රකාශනයේ නිදහස මත ඇටැවූ ක්ලේමෝ බෝම්බයක්'' - මංජුල වෙඩිවර්ධන



ලේඛක ශක්තික සත්කුමාර තම ෆේස්බුක් ගිණුමෙහි පළකල කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කලේ යයි බෞද්ධ අන්තවාදී කණ්ඩායමක් කළ පැමිණිල්ලක් මත අප්‍රේල් 1 දා පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුණි. ඉන් ලබාදුන් නියෝගයක් මත බන්ධනාගාර ගත කල සත්කුමාරට ඇප ලබා නොදෙමින් මෙතෙකුදු රඳවාගෙන සිටී.

ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරුනු ප්‍රහාරයකි. මෙයට එරෙහිව සත්කුමාර නිදහස් කර ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) දියත් කොට ඇති උද්ඝෝෂණයට විවිධ කලාකරුවන්ගේ සහ බුද්ධිමතුන්ගේ සහයෝගය ලැබෙමින් පවතී.


මංජුල වෙඩිවර්ධන

ප්‍රසිද්ධ කවියෙකු, කෙටිකතාකරුවෙකු සහ නවකතාකරුවෙකු වන මංජුල වෙඩිවර්ධන ද සසප උද්ඝෝෂණයට සහාය පලකරමින් ලෝසවෙඅ ට ප්‍රකාශයක් ලබා දී ඇත.

එම ප්‍රකාශය තුළ ඔහු මෙසේ සඳහන් කරයි: “ප්‍රබන්ධකරණය නම් නිර්මාණාත්මක විෂය කෙරෙහි ශක්තික සත්කුමාර නම් තරුණ ලේඛකයා සතු කැපවීම පිළිබඳව මා දන්නේ, ඔහුගේ පලමු කාව්‍ය කෘතිය වූ 2009 පළ කල ‘වෙඩිවැදුනු පන්හිඳ’ පලකිරීමට පෙර සිට ය. ඔහු ලියූ ප්‍රබන්ධ කතාවක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කීරීම මූලිකම ප්‍රජාතාන්ත්‍රික අයිතියක් වන ප්‍රකාශනයේ නිදහස මත ඇටැවූ ක්ලේමෝ බෝම්බයක් බව අවධාරණය කළ යුතු ය.”

“මේරි නම් වූ මරියා” කෘතිය නිර්මාණය කිරීම හේතුවෙන් තමා අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස, කාඩිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ රදගුරු සමුළුව එකල පැවති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අයුරු විස්තර කරන වෙඩිවර්ධන සමස්ත ආගමික සංස්ථාපිතය කලාවට එරෙහිව පිහිටන ආකාරය පැහැදිලි කරයි.

“සංස්ථාපිත ආගම් යනු හැම විටම රාජ්‍යයේ දෘෂ්ටිමය මර්දන උපකරණයන්” බවත් “කවර ස්වරූපයකින් පැමිනුන ද සකල ආගමික මූලධර්මවාදයන් පරාජය කල යුතු” බවත් ඔහු පවසයි.

ආගමික සංස්ථාපිතයන් හි ඊනියා සදාචාරවාදය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කියයි: “කලාකරුවගේ සාධනීය පරිකල්පනයන් ක්‍රමයෙන් සමාජයට කාන්දු වුවහොත් සදාචාර අසිපත ලෙලවන්නට ආගමික සංස්ථාවන්ට ඇති ශක්‍යතාව අර්බුදයට යයි. කලා කෘතීන් කෙරෙහි එකී සංස්ථාවන්ගේ විරෝධයේ මූලය එයයි.”
ශක්තික සත්කුමාර

සත්කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ජයසේකර විසින් “දීර්ඝව, සංවිධිතව සහ දේශපාලනිකව ඉදිරිපත් කල කරුනු දැක්වීමට පවා අධිකරනය අවධානය යොමු කර නැතැ” යි පවසන වෙඩිවර්ධන තම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් කරයි:

“එහි දේශපාලනය පැහැදිලි ය. අවසන, ‘සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ සාහිත්‍ය-කලාකරුවන්ගේ හිස මත ඇද වැටී ඇත. වරප්‍රසාදිත කලාකරුවන් ඊට දක්වන භයානක නිහැඬියාව යලි සේවය කරන්නේ ධනේශ්වර මර්දන යන්ත්‍රයටම බව මෙකී සාහිත්‍යකරුවන් අවබෝධ කර ගන්නා මොහොත වන විට සාහිත්‍ය රන්දෝලි පෙරහැරද අවසන් ව තිබෙන්නට ඉඩ තිබේ. එබැවින් මේ මොහොතේ සාමූහිකව මෙම මූලධර්මවාදී නිහීන නිර්ලජ්ජිත ආගමික මර්දනය පරාජය කල යුතු ය. කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සසප ගෙනයන උද්ඝෝෂණයට මම පූර්ණ සහයෝගය ලබා දෙමි.”