''ආණ්ඩුව වගේම විපක්ෂයටත් ජනතාවගෙන් චෝදනා'' - අගමැති


පාස්කු ඉරිදා සිදුවීම් සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු  තේරීම්  කාරක සභාවේ  සියලු රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාව කතානායකවරයාගේ අවසරය ඇතිව ජනමාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා (24)  සිවිල් සංවිධාන නියෝජිතයන් හමු වූ අවස්ථාවේදීය. 

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ හරස් ප්‍රශ්න ඇසීම, ඒවාට දෙන පිලිතුරු සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවන බවත් ඒ අනුව පක්ෂග්‍රාහීව කටයුතු කිරීමට අවස්ථාව නැති බවත්ය. 


මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්, ඩබ්ලිව. සිරිල්, ආචාර්ය ජෙහන් පෙරේරා, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස සහභාගි වූහ.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

සිවිල් සංවිධාන වලට ස්තුතියි 

''පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටේ සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්කරගැනීමට සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව ලෙස දැක්වූ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා. අප රටේ අනාගතය පිලිබඳව ඔබ ලබාදුන් අදහස් සහ යෝජනා ඉතා වැදගත් වන අතර තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව තීරණ ගැනීම සුදුසු වෙනවා. අනෙකුත් සංවිධානත් ඒ පිලිබඳව සාකච්ඡා කිරීමට කැදවීමට  මම බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද ශ්‍රී ලාංකික අනන්‍යතාව ඇතිකරන්නේ, අපි කොහොමද නව දේශපාලනය ක්‍රමයක් ඇතිකරන්නේ ඒ වගේම අපි කොහොමද ත්‍රස්තවාදය නැවත  හිස එසවීම  නවත්වන්නේ යන කාරණා සියලු දෙනාටම වැදගත් වෙනවා.

එමනිසා එම කාරණා පිලිබඳව පක්ෂ භේදයෙන් තොරව පුළුල්ව  සාකච්ඡා කිරීමෙන් පසුව තීරණ වලට එළඹීමට මම බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට සාමාන්‍ය තත්වයට අපි රැගෙන ආවත් අවාසනාවන්ත ලෙස පසුගිය සඳුදා බිංගිරිය, හලාවත, කුලියාපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට  සම්බන්ධ වූවන්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මේ වනවිට රටේ සාමාන්‍ය තත්වයක් ඇතිවී තිබෙනවා. රාමසාන් උපවාස සමය, ඉරිදා ක්‍රිස්තියානි දේව මෙහෙය වගේම අපේ පන්සල් වල වෙසක් උත්සවයක් සාර්කථව පවත්වන්නට හැකියාව ලැබුණා. 

මාසයක් ඇතුළත සියලුදෙනා අත්අඩංගුවට 

කඩසාප්පු වල ගනුදෙනු කිර්‍ර්මට මෙන්ම පාසල් කටයුතුද දැන් සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අපේ ආරක්ෂක අංශ ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර සිටින සියලු දෙනාම මාසයක් ඇතුලත අත්අඩංගුවට ගැනීමට සමත් වෙලා තිබෙනවා. සැකකරුවන් ගෙන් ආරක්ෂක අංශ  ප්‍රශ්න කිරීම සිදුවන අතර ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා ක්‍රියාකරමින් යනවා. ශ්‍රී ලංකා ආරක්ෂක තරම් කාර්‍යක්ශමවව සහ ඉක්මනට ක්‍රියා කරපු සංවිධාන ලෝකයටම තිබෙන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණක් බව මට විදේශ බුද්ධි නිලධාරීයෙක් මෑතකදී පැවසූවා. ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් මෙවැනි සැකකරුවන් සොයාගැනීමට මාස තුනක් හෝ හයක් වැනි ප්‍රමායක් ගතවන බව පැවසෙනවා. දැනට තිබෙන ජාතික ආරක්ෂා ව හා සම්බන්ධ අපේ සංවිධාන තවදුරටත් ශක්තිමත් කලයුතුව තිබෙන අතර ඒ සදහා අවශ්‍ය සංශෝධන දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. 

මේ අවස්ථාවේ ආණ්ඩුව දෝශාරෝපණයට ලක්වෙනවා 

ඉන්දියාව නිසි තොරතුරු ලබාදී තිබියදී ඒ පිලිබඳ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ අවස්ථාවේදී ජනතාව ආණ්ඩුව දෝශාරෝපණය කරනවා. ජනතා විශ්වාසය පලුදුවීම ආණ්ඩු පක්ෂයට පමණක් සීමාවී නොමැති අතර විපක්ෂ ය සම්බන්ධයෙන් ද ජනතා විශ්වාසය පළුදුවී තිබෙනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු එදා ප්‍රකාශ කලේ "අපි 225 ම ඉන්නේ මෙතනදී එකම බෝට්ටුවේ ලෙසයි". එම පළුදුවූ විශ්වාසය යලි ලබාගන්නා ආකාරය පිලිබඳ  අපි සියලුදෙනා විවෘතව අලුතෙන්  සාකච්ඡා කලයුතුයි. ඒ එක්කම විශේෂ පියවර කිහිපයක් අපි දැනටමත් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මද්‍රාසා පාසල් නියාමනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන අතර නීතිපතිවරයා ඒ පිලිබඳව ක්‍රියාකරගෙන යනවා. 

එමෙන්ම ශාරියා විශ්වවිද්‍යාල ලංකාව තුල ඇතිකිරීම කිසිම අවස්ථාවක් නැහැ. බුර්කාව පිලිබඳ පැන නැගී තිබූ ගැටලුවත් මේවනවිට නිරාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම මගේ නියෝගයක් මත, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා නගර සභා නාම පුවරු වලට සිංහල භාෂාව, දමිල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පමණක් යොදාගන්නා ලෙස ස්වදේශ  කටයුතු අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් මගින් දන්වා තිබෙනවා. පිටින් පැමිණි ස්වල්ප දෙනෙක්ගේ අන්තවාදී අදහස් වලට වඩා මධ්‍යස්ථ අයගේ අදහස් ඉදිරියට පැමිණ තිබෙනවා. සමහර මැදපෙරදිග අරාබි රටවල්වල මුස්ලිම් ජනතාවගේ සහයෝගය අයි එස් අයි එස් සංවිධානයට හිමිවෙනවා.ලංකාවේ අන්තවාදී සංවිධානවලට ජනතාවගේ සහයෝගය ලබෙන්නේ නැහැ.අපි අන්තවාදී වැඩ කිරීමෙන් ත්‍රස්තවාදී සංවිධානය වලට සහයෝගය  ලැබීමේ අවධානයම වගේම වගේම ජාතිවාදය, ආගම් වාදය ඇති වුවහොත් අන්තවාදයෙන් අවසන්වීමේ අවධානමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් 1983 අමිහිරි මතකයක් අපට තිබෙනවා.මෙමෙ සිද්ධි සම්බන්ධයෙන් සියලු අංශවලින් විභාග කල යුතුයි. ඒ වගේම වැරදි කරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒ වගේම නිවැරැදි පුද්ගලයින්ට ඉදිරියට යාමේ අවස්ථාව සලසා දියයුතුයි. 

ශ්‍රී ලාංකික අනන්‍යතාව කුමක්ද ? 

ඒ වගේම මහා සංඝරත්නයත් ක්‍රිස්තියානි පූජක පක්ෂයත් නායකත්වයෙන් නැවත අන්තවාදයක් ඇතිවීම වැලැක්වීමට විශාල සහයෝගයක් ලබාදී තිබෙනවා. ඒ වගේම ආගම් ලෙස ගත්තොත් බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේම ජාතීන් ලෙස ගත්තොත් සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් සැමට ශ්‍රී ලාංකික අනන්‍යතාව කුමක්ද කියලා අපි පුළුල්ව සාකච්ඡා කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය ඇතිකිරීම අපගේ වගකීමක් බැවින් මෙම සියලු සිද්ධි ගැන වාර්තා කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීන්දු කර තිබෙනවා. එහිදී මම, පලමු සති දෙක ඇතුලතදී තේරීම්කාරක සභාවේ අතුරු වාර්තාවක් ලබාදීමට කටයුතු  කරනමෙන් කථානායක වරයාගෙන් ඉල්ලීමක් කලා. රිශාඩ් බඩුර්දීන් අමාත්‍යවරයා පිලිබඳ විවිධ චෝදනා සහ යෝජනා වාර්තා මාධ්‍ය වලින් පැමිණ තිබෙනවා. 

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එම නිසා මේ සියලු චෝදනා විභාග කිරීම ජනතාවගේ පැත්තෙන් ඉතා හොද කාර්‍යයක්.ඒ සදහා කන්ඩායමක් පත්කර තිබෙන අතර සති දෙකක් තුලදී ලැබෙන අතුරු වාර්ථාව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් මෙම තේරීම් කාරක සහභාගී නොවීම පිලිබඳව මම කනගාටු වෙනවා.ඒ වගේම එම සහභාගී නොවීමේ තීරණය නැවත සලකා බලන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම ක්‍රියාවලිය පිලිබඳ ජනතාවගේ විශ්වාසය ඇතිකිරීමට සදහා කතානායක තුමාගේ අවසරය ලබාගෙන මෙම කාර්යය මාධ්‍යට සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අවස්තාව ලබාදී තිබෙනවා. එනම් හරස් ප්‍රශ්න ඇසීම,ලබා දෙන පිලිතුරු, සාකච්ඡා සියල්ල මාධ්‍යට ආවරණය කිරීමේ හැකියාව තිබෙනවා. මාධ්‍ය ඒ පිලිබඳව වාර්තා කිරීමෙන් රටේ ජන්තාව එම සියලු කාරණා සම්බන්ධයෙන් දැනුවත් වෙනවා.එම නිසා කිසිම කෙනකුට රහස් වාර්තා මෙන්ම පක්ෂක්ග්‍රාහී වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වනවා.ලබාදෙන සියලු සාක්ෂි එහි සදහන් කලයුතු වෙනවා. මෙම ක්‍රමය ඉතා යෝග්‍ය වන අතර ඇමරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයේ ද විශේෂ කාරණා වලදී මාධ්‍ය වලට එම අවකාශය හිමිවෙනවා. මෙහිදී මෙම වැඩකටයුත්ත විවෘත්ත භාවයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.එවිට ජනතාවට තමන්ගේ තීරනය ගැනීමට අවස්තාව ලැබෙනවා.එමෙන්ම තවත් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.එමෙන්ම රටේ නීතිය හා සාමය ඇතිකිරීමට අපි කැපවී සිටින අතර අයි එස් අයි එස් ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට නොහැකි ආකාරයට නව ක්‍රිමයක් ඇතිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එම නිසා ඔබ සියලුදෙනා මෙම ස්ථානයට පැමිණ ලබාදුන් සහයෝගය ගැන මම ස්තූතිවන්ත වෙනවා'' යන්නයි.