‘‘අවි ගත්තෝ අවියෙන්ම නැසෙති‘‘ - කාදිනල්තුමා




අද (6) දින විශේෂ ප්‍රකාශයක් කළ මැල්කම් රංජිත් අගරදගුරුතුමා පැවසුවේ, ප්‍රකෝපකාරී නොවී කටයුතු කරන ලෙසත් ඊයේ මීගමුවේ සිදුවූ කලහකාරී තත්ත්වය පිටුපස සිටින්නේ සාමයෙන් සිටින කතෝලික හා මුස්ලිම් ජනතාව කුපිත කිරීමට උත්සහ කළ පිරිසක් බවද කතෝලික ජනතාව කිසිදු විටක මුස්ලිම් ජනතාවට අත එසවීමට නොයන ලෙසයි. 

එමෙන්ම, මත්පැන් පානය කර මිනිසුන් තිරිසන්භාවයටත් ඔබ්බට යන තත්ත්වයකට පත්වන නිසා මේ ප්‍රදේශයේ තිබෙන මත්පැන් අලෙවිසල් වසා දමන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමා පැවසුවේය. 

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් දැක්වූවේ, 

‘‘මා විසින් විශේෂයෙන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටි ආකාරයට ඔවුන් මේ වනතෙක්ම ඉතාම සන්සුන්ව පොලීසියටත්, ත්‍රිවිද හමුදාවටත් කටයුතු කරගෙන යාමට  ඉඩ සලසා දුන්නා. ඒ වෙනුවෙන් අගරදගුරුතුමන් ලෙස රටේ සාමය රැකීමට උරදීම සම්බන්ධයෙන් කතෝලික ජනතාවට මගේ ස්තුතියත්, ප්‍රශංසාවත් යොමු කරනවා. 

මෙපමණ මිනිස් ඝාතනයක් සිදුවුවද, මා මේ අවස්ථාවේදී බෞද්ධ ජනතාවගෙන් සහ මුස්ලිම් ජනතාවගෙනුත්, හින්දු ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ කලබලකාරී නොවී තවදුරටත් සාමය ආරක්ෂා කරන්නට ආරක්ෂක අංශ වලට උපරිම සහය දෙන ලෙසයි. 

මෙය අපට නොදැනෙන කූඨ ලෙස ගෙනයන වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. සමහර අය මේ අවස්ථාවේදී ඇවිස්සීම් කරන්නට කටයුතු කිරීම සමහර අය අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරලා, මනුෂ්‍යයන් අතර භේදබින්න ඇතිකරලා වෙනත් රටවල උපකාර පැතීමට ද මේ රට අරාජික තත්ත්වයකට පත්කිරීමට ඉඩකඩ ඇති බව මට වැටහී තිබෙනවා. 

විවිධ පිරිස් අපේ රටේ අසමගිය ඇතිකරීමට වෑයම් කරන නිසා මේ තත්ත්වයට බෞද්ධ, මුස්ලිම්, හින්දු හා අනිකුත් පිරිස් ඉඩනොදී සාමය ආරක්ෂා කරගනිමින්, කලකෝලාහල ඇතිකර නොගෙන බුද්ධියට තැන දෙමින් හැඟීම් වලට වහල් නොවී මේ අවස්ථාවේ කටයුතු කරන මෙන් මම ඉතාමත්ම ආදරයෙන් හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. 

මුළු රටම කැළඹී ඇති, අවිශ්වාසයට ඉඩදී ඇති මොහොතක අපි මතක තබාගන්න ඕන අවිගත්ත, අය අවියෙන්ම නසිනවා කියන ඒ ධර්මය, වෛරයෙන් වෛරය නොසන්සිඳෙනවා කියන ඒ ධර්මය. ඉතා කල්පනාකාරීව, සාමය හා සහජීවනයෙන් ජීවත්වීමට අපිව තල්ලු විය යුතුයි කියලා මං විශ්වාස කරනවා.‘‘ යන්නයි.