''උතුරේ සංවර්ධනය වේගවත් කරනවා'' - අගමැති


යුද්ධයෙන් විනාශ උතුරු නැගෙනහිර ප්‍රදේශ දියුණු කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ආරම්භ කළ බවත් වත්මන් රජය විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කොට අවසන් කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ අද (27) දින අරලියගහ මන්දිරයේදී පැවති උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් වේගවත් කරලීම සඳහා තෙල් සංවර්ධන අරමුදල ස්ථාපිත කරලීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසුවේය. 

මෙම අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර, දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. අඩෙක්කලනාදන්,  ඩී. ශ්‍රීධරන්,  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති ඇතුළු පිරිස සහභාගී විය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කර දෙන ලෙස කළ ඉල්ලීම්වලට අනුව මෙම අරමුදල ඇති කළ බවත් එම ප්‍රදේශවල ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් මේ අරමුදල හරහා ලබාදීමට හැකියාව තිබෙන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
  

මෙම අරමුදල යටතේ උතුරු නැගෙනහිර යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කිරීමට සැලසුම් කර ඇත. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, 

උතුරු නැගෙනහිර දියුණු කරන්න මෙම අරමුදල ඇරඹුවා 

''උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ  වූ ප්‍රදේශ දියුණු කිරීම සඳහා අපි  මෙම අරමුදල ආරම්භ කළා. එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දෙන්න යැයි විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යතුමා අයවැය මගින් මෙම අරමුදලට මුදල් වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.

ගම්පෙරළියෙන් රු.බි. 7 ක් උතුරු නැගෙනහිරට 

මෙම අරමුදලට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් බිලියන 7ක් අපි ලබා දෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස බලන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මේ වසරේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 50ක් පමණ වෙන්කර තිබෙන බව භාණ්ඩාගාර ලේකම්තුමා මා සමඟ පැවසුවා. 


උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස 2000 ව්‍යාපෘතිය යටතේ විනාශ වූ නිවාස සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සිදුකෙරෙනවා. ඒවගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ ප්‍රදේශවලට මුදල් ලබාදෙනවා. අපේ රජය විසින් උපාධිධාරීන් විසි දෙදහසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඉන් කොටසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල උපාධිධාරීන්ට ලබාදීමට කටයුතු කරන බවත් පැවසිය යුතුයි. මේ ආකාරයට උතුරු නැගෙනහිර සංවර්ධනයට අවශ්‍ය සියලූ කටයුතු අපි සිදු කරනවා. 

උතුරට යුද්ධය නිසා ඇතිවූ හානිය සුළුපටු නැහැ 

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට යුද්ධය නිසා ඇති වූ හානිය විශේෂයෙන් පැවසිය යුතු නැහැ. අප මේ ප්‍රදේශවල සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ එම නිසායි. මේ ප්‍රදේශ සංවර්ධනය කරන අතරතුර රටේ අනෙක් ප්‍රදේශවලත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙනවා. එම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන දිරිගැන්වීම් පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඉදිරියේදී රටට ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අනුව රටේ සංවර්ධනය වෙනුවෙන් මේ වසර තුල අපි වැඩකටයුතු විශාල ප්‍රමාණයක් භාරගෙන තිබෙනවා. ඉන් පළමු කාර්ය විය යුත්තේ  වෙන්කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා වියදම් කිරීම බව මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි.