සෞඛ්‍ය ඇමතිවරයා ඖෂධ පනත උල්ලංඝනය කළ බව අභියාචනාධිකරණය තීරණය කරයි


සෞඛ්‍යය ඇමැති රාජිත සේනාරත්න 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත උල්ලංඝනය කර ඇති බව අභියාචනාධිකරණය තීරණය කළ බව අද (6) දින නිවේදනයක් නිකුත් කරන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, 

‘‘සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍යය ඇමැති රාජිත සේනාරත්න විසින් මහාචාර්ය අසිත ද සිල්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙක් සහ සභාපති ලෙස පත්කිරීමට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් නඩු අංක 222/2016 යටතේ 2016 වසරේදී ගොනු කරන ලදී.

මෙම කාරණය ම සඳහන් කරමින් රෝගී අයිතිවාසිකම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසින්ද නඩු අංක 208/2016 යටතේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. පසුව මෙම නඩුකර දෙකෙහිම කටයුතු අධිකරණයේ ඉදිරියෙහි විභාග වූ අතර එහි තීන්දුව 2019 මැයි දෙවන දින අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලදී. ඒ අනුව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතෙහි තමන්ට හිමි බලතල බලාතික‍්‍රමණය කරමින් මෙම පත්වීම් සිදුකර ඇති බවත් මෙම පත් කිරීමට එරෙහිව සර්ෂියොරාරි රීට් ආඥාවක් නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් තීරණය කරන ලදී.

මෙම නඩු තීන්දුව අනුව

ජාතික ඖෂධ අධිකාරිය යනු එම පනතෙහි දීර්ඝ නාමයෙහි සඳහන්ව ඇති ආකාරයට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම, බලපත‍්‍ර ලබාදීම, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම සහ එකී ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදනවලට අදාල වෙනත් සියලූ කරුණු සහ සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ජාතික ආයතනයයි.

මහාචාර්ය අසිත ද සිල්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙක් ලෙස පත් කිරීම

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය අසිත ද සිල්වා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කිරීම සිදු කරන්නේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ4(b)(iv) වගන්තිය අනුවය. එහි සඳහන් වන්නේ පිළිවෙලින් කළමනාකරණය, නීතිය, ගණකාධිකරණය හෝ සෞඛ්‍යය යන ක්ෂේත‍්‍ර වල විශිෂ්ටත්වය දක්වා ඇති වෘත්තිකයන් හතරදෙනකු පත් කළ සාමාජිකයන් ලෙස සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ට පත් කළ හැකි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මහාචාර්ය අසිත ද සිල්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙක් ලෙස පත් කිරීම සඳහා පුරප්පාඩුවක් නිර්මාණය කරන ලද්දේ අධිකාරියේ සාමාජිකයෙක්ව සිටි ගණකාධිකරණ අංශය සඳහා විශිෂ්ටත්වයක් දක්වා ඇති වෘත්තිකයා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කිරීමෙනි. මෙහිදී ගරු අභියාචනාධිකරණයේ විසින් පෙන්වා දෙනු ලබන්නේ පනත අනුව ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයා ඉවත් කළ පසු පත්කළ යුත්තේ ද ගණකාධිකරණ ක්ෂේත‍්‍රයේම වෘත්තිකයෙකු බවයි. ඒ අනුව මහාචාර්ය අසිත ද සිල්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කිරීම 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත උල්ලංඝනය වීමක් වන අතර නීතිය අනුව බල රහිත වේ.

සාමාජිකයන්ගේ සම්බන්ධතා ඝට්ටනය

2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත අනුව 6 (1) අමාත්‍යවරයා විසින් අධිකාරියේ සාමාජිකයෙකු වශයෙන් යම් තැනැත්තෙකු පත් කිරීමට පෙරාතුව අධිකාරියේ සාමාජිකයෙකු වශයෙන් ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේදී එම තැනැත්තාට අධිකාරියේ කටයුතු සඳහා අහිතකර ලෙස බලපෑ හැකි අධිකාරියේ කටයුතු පිළිබඳ යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතා ඝට්ටන නොමැති බවට අමාත්‍යවරයා විසින් සෑහීමට පත් විය යුතුය.6(3) වගන්තිය අනුව අධිකාරියේ සාමාජිකයෙකු පත්කරනු ලබන තැනැත්තා එසේ පත් කරනු ලැබීමට පෙරාතුවම අවුරුදු තුනක කාලයක් ඇතුළත ඖෂධ කර්මාන්තය සම්බන්ධ යම් රැුකියාවක හෝ පත්වීමක නියුතු වී නොසිටි තැනැත්තෙකු විය යුතුය.

අධිකරණයේ දී හෙළිදරව් වූ කරුණු අනුව

1 මහාචාර්ය අසිත සිල්වා RemediumOne (Pvt& Ltd) නැමති ආයතනයේ පදනම් අධ්‍යක්ෂක වන අතර කොටස් හිමිකරුවෙකි.

2 මහාචාර්ය අසිත ද සිල්වාගේ බිරිඳ RemediumOne (Pvt& Ltd) - නැමති ආයතනයේ කොටස් හිමිකාරිණියකි.

3 මහාචාර්ය අසිත ද සිල්වා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණ (Clinical Trials Unit) ඒකකයේ අධ්‍යක්ෂකවරයා ද වේ.

4 කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පරීක්ෂණ ඒකකය හා RemediumOne (Pvt& Ltd) ආයතනය අතර ගිවිසුමක් පවතින අතර ශ‍්‍රී ලංකාව තුළ සායනික පරීක්ෂණ සිදුකරමින් ඖෂධ සම්බන්ධ සොයාගැනීම් සිදු කිරීම එහි අරමුණ ලෙස දක්වා ඇත.

5 මෙම සායනික පරීක්ෂණ ඖෂධ සම්බන්ධ හා ඒ ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් සම්බන්ධව වේ.

6 බොහොමයක් ඖෂධ වලට අදාල සායනික පරීක්ෂණ සඳහා අනුග‍්‍රහය දක්වනු ලබන්නේ ඖෂධ සමාගම් විසිනි.

7 මෙම සායනික පරීක්ෂණ මගින් ලබා ගන්නා ප‍්‍රතිඵල අනුව නිපදවන ලද ඖෂධ ශ‍්‍රී ලාංකීය රෝගීන් හට ලබා දෙනු ඇත.

8 සාමාජිකයින් ගේ සම්බන්ධතා ඝට්ටනය පවතින අතර ඒ පිළිබඳ කිසිම සැකයක් නොමැත.

ඒ අනුව සෞඛ්‍යය ඇමතිවරයා විසින් මහාචාර්ය අසිත ද සිල්වා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමෙන් බලාතික‍්‍රමණයක් සිදුකර ඇති අතර 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතෙහි 4(wd)(iv), 6(1), 6(3), 7(d) යන වගන්ති උල්ලංඝනය කර ඇත.

එමෙන්ම මහාචාර්ය අසිත ද සිල්වා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස පත් කිරීම ද නීති විරෝධී බව අධිකරණය තීරණය කර ඇත.

මහාචාර්ය අසිත ද සිල්වාගේ පත් කිරීම 2018 මැයි 13 අවසන් වූ අතර නැවත වතාවක් සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් 2018 මැයි 15 දින ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි සාමාජිකයෙක් ලෙස හා සභාපති ලෙස දෙවන වරට පත් කරන ලදී. අප විසින් අභියෝග කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ඔහුගේ පළමු පත්වීම වන අතර එහි නඩු තීන්දුව ලබා දෙන විට එම නීතිවිරෝධී පත්වීමේ කාලය අවසන් වී ඇත. සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණය විසින් නීති විරෝධී පත්වීමක් ලද පුද්ගලයෙක් වශයෙන් තීරණය කළ අයෙක් ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙක් සහ සභාපති ලෙස පත්කර දෙවන වරටද 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත උල්ලංඝනය කර ඇත. සෞඛ්‍යය අමාත්‍යවරයා වහාම මෙම නීතිවිරෝධී පත්වීමක් ලද පුද්ගලයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික සහ සභාපති යන ධුරවලින් ඉවත් කර සුදුසු පුද්ගලයෙක් ඒ සඳහා පත්කිරීමට වහා පියවර ගත යුතුය.‘‘ යන්නයි.