''සමාජ නවෝදයක් උදෙසා පිය නගමු‘‘ - අගමැති


මෙවර වෙසක් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බවයි. 


මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ,

‘‘මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයන් නිසා ශ්‍රී ලංකා සමාජය කැළඹිමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මෙම වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් ය.

බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පුද්ගල අධ්‍යාත්මික විමුක්තිය මෙන්ම පොදු සමාජ විමුක්තිය ද අරමුණු කොට ගත් උතුම් ධර්ම මාර්ගයකි. බුදු දහමේ මූලික හරය කැටි වූ මෙත්තා කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පිළිපදින්නේ නම් අප තුළ අධ්‍යාත්මික නිවීමත්, පොදුවේ සමාජය තුළ සාමය සහ සංහිදියාවත් ගොඩනැගීමට හැකි වනු නිසැකය.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව පැවසූ බුදුන් වහන්සේ නිර්වාණ මාර්ගය විහිදී ඇත්තේ සකල සත්වයන් කෙරෙහි වන මෛත්‍රීය ඔස්සේ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. එබැවින් ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි.

මෙම අර්බුදකාරී අවස්ථාව පිළිබඳ මනා වැටහීමෙන් ඉවසිලිවන්තව, සංයමශීලීව කටයුතු කරමින්, ජාතික ආරක්ෂාව ඇති කිරීම සඳහා සහය ලබා දුන් සමස්ත ජනතාවට මාගේ හෘදයාංගම ප්‍රණාමය පුදකරමි. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ද, වෛරය අවෛරයෙන් ද, අධර්මය ධර්මයෙන් ද, අසත්‍යය සත්‍යයෙන් ද දිනවීමට පෙරමුණ ගන්නා අර්ථවත් සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි.‘‘ යන්නයි.