අගමැතිගේ වත්කම් ප්‍රකාශ පිලිබඳ ජනපතිගේ අභියාචනය හෙට අධිකරණ විභාගයට


අගමැතිවරයාගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන ලෙස තොරතුරු කොමිෂන් සභාව විසින් 2018 දෙසැම්බර් මස 04 වන දින නිකුත් කරන ලද නියෝගයට එරෙහිව, ජනාධිපති  ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත්  කරන ලද අභියාචනය හෙට (මැයි 06) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලුම්පතට ප්‍රකාරව, රනිල් වික්‍රමසිංහ මහතා, ඔහු අග්‍රාමාත්‍ය ධූරය දරූ 2015 සහ 2016 යන වර්ෂවල ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කරන ලෙස, RTI කොමිසම විසින්, මෙම ආන්දෝලනාත්මක තීන්දුව ලබා දෙමින්, ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කරන ලදී . 

RTI  කොමිසම තම තීරණය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් පැවසුවේ, පාලකයින් නිරන්තරයෙන් මහජන දේපල තමන් වෙත එක් රැස් කරගැනීමට පෙළඹෙන බවත්, එවැනි අනර්ථකාරී දුෂණයන් ඇති වීම වැලැක්වීමට RTI  පනත මඟින් විශාල බලපෑමක් කල හැකි බවත් ය. 

TISL ආයතනය විසින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ RTI අයදුම්පත්‍රය තුලින් 2015 හා 2016 වර්ෂයන් සඳහා අතිගරු ජනාධිපති මෛතිරිපාල සිරිසේන මහතාගේ වත්කම් ප්‍රකාශනයද ඉල්ලා සිටි අතර, RTI කොමිසම පෙන්වා දුන්නේ වත්කම් හා බැරකම් ප්‍රකාශන පිලිබඳ පනත යටතේ, ජනාධිපති ධූරය සඳහන් කර නොමැති බවයි. එසේවුවුද, විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සඳහා රාජ්‍ය නායකයින් සිය කැමැත්තෙන්ම වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවනතාවයක් පවතින බව RTI කොමිසම පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමාගේ වත්කම් ප්‍රකාශනයද ප්‍රසිද්ධියට පත්කිරීම තුලින් RTI පනත තුලින් බලාපොරොත්තු වූ යහපාලනයේ හා වගවීමේ සංස්කෘතිය පෝෂණය කළ හැකි බැවින් මෙම නීතිමය පුරප්පාඩුව විසඳන ලෙස RTI කොමිසම නිර්දේශ කළේය. 

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව, 2019 පෙබරවාරි 28 වන දින සිය වත්කම් ප්‍රකාශ ජනසතු කිරීමට පියවර ගත්හ. මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඉමහත් පැසසුමට ලක් වූ අතර, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසා ගන්න ලද ගන්නා ලද ප්‍රගතිශීලී පියවරක් වශයෙන් පිළිගන්නා ලදී.