දුම්රියේ ආරක්ෂාව වැඩිකරන ලෙස දන්වා අර්ජුන වෙත ඉල්ලීමක්



පවතින අනාරක්‍ෂිත තත්වය හමුවේ මගීන්ගේ, සේවකයින්ගේ හා දේපල වල ආරක්‍ෂාව සඳහා විශේෂ වැඩ පිළිවෙලක් යොදන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ඊයේ (2) දින ලිපියක් යොමුකර තිබේ. 

අදාළ ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, 

‘‘මිනිස් ජීවිත හා දේපල විනාශ කරමින් විවිධ ගණයේ අපරාධ කිරීමට අන්තවාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් කටයුතු කරමින් සිටී. ජාතික ආරක්‍ෂාවේ පවතින දුර්වලතා මෙම අන්තවාදී කණ්ඩායම් උපයෝගි කරගන්නා අතර, සාමාන්‍ය මිනිස් ජීවිත හා දේපල විනාශ කිරීම ඔහුන්ගේ එකම අරමුණ වී ඇත.

අන්තවාදී ත‍්‍රස්තවාදී කණ්ඩායම් පාස්කු ඉරිදා සිදුකළ ප‍්‍රහාරය නිසා සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාලවිය. විවිධ රාජකාරී සඳහා කොළඹට එන ජනතාව පැමිණියේ නැත. රජයේ හා පෞද්ගලික අංශයේ  වැඩබිම් සහ කාර්යාල වල පැමිණීම 50% කින් පහත වැටුණි. ජාතික ආර්ථිකය බිඳ වැටුණි. මුළු රටම වසර ගණනාවකින් ආපස්සට ගියේය. මේ සියල්ල සිදුවූයේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයේ තිබූ අඩුව නිසාය.

ජාතික ආරක්‍ෂාව ගැන සෑහීමකට පත්විය නොහැහි වුවද, සුපුරුදු පරිදි විවිධ කටයුතු සඳහා දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව වැඩිවී ඇත. එම මගී ජනතාවගේ්, දුම්රිය සේවකයින්ගේ හා  දුම්රිය දේපල  වල ආරක්‍ෂාව සැපයීම අප කාගේත් වගකීමකි. සිදුවූ විනාශයට වඩා වැඩි විනාශයක් සිදුවීමේ ඉඩකඩ ඉතා වැඩිය. අන්තවාදීන් විසින් තවත් එවැනිම විනාශයක් සිදුකරන තෙක් බලා නොසිට, වහාම කි‍්‍රයාත්මක වන පරිදි දුම්රිය මගීන්ගේ, දුම්රිය සේවකයින්ගේ හා දුම්රිය දේපල වල ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතුව ඇත. විශේෂයෙන්ම මරදාන, කොටුව ඇතුළු ප‍්‍රධාන දුම්රිය ස්ථාන වලත්, ධාවනය වෙමින් තිබෙන දුම්රිය වලත් මගීන්ගේ හා සේවකයින්ගේ ආරක්‍ෂාව තහවුරු වන ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ඉතා අත්‍යාවශ්‍ය වී ඇත.

මේ සඳහා දුම්රිය ආරක්‍ෂක සේවයේ දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නැති බව අමුතුවෙන් කිව යුතු- නැත.  දුම්රිය ආරක්‍ෂක සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව 200 කට අධිකය. එම පුරප්පාඩු ප‍්‍රමාණය පිරවීමට තවත් කාලයක් ගත වන්නේ නම්, තාවකාලික පදනමින් හෝ දුම්රිය ආරක්‍ෂක සේවයට කඩිනමින් බඳවා ගැනීම සිදුකළ යුතු- බවට යෝජනා කරන අතර, ඒ සඳහා දැරීමට සිදුවන වැයබර ජාතික ආරක්‍ෂව සඳහා දරණ වැයබරක් ලෙස සලකා කටයුතු කළ හැකිය.

කොතරම් අපහසුතාවයන් තිබුණද, පවතින අනාරක්‍ෂිත තත්වය හමුවේ දුම්රිය මගීන්ගේ, දුම්රිය සේවකයින්ගේ හා දේපල වල ආරක්‍ෂාව වෙනුවෙන් කඩිනම් ආරක්‍ෂක වැඩ පිළිවෙලක් සඳහා ඔබතුමාගේ අවධානය යොමුකරවන අතර, ඒ සඳහා මගී සංගම් හා වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටිමු.‘‘