''ත්‍රස්තවාදීන් ගැන ඔබ සතු තොරතුරු අපට දෙන්න‘‘ - අගමැති


අයි එස් අයි එස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගේ ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (3) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේය. 


මෙහිදී අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, 

කිසිවෙකු බලාපොරොත්තු නොවූ සිදුවීමක් 

‘‘පළමුවෙන්ම අපේ රජය වෙනුවෙන් මම ඔබ සියළු දෙනාටම කණගාටුව ප්‍රකාශ කරනවා. ජීවිත නැති වූ අපේ සහෝදර ජනතාවගේ පවුල්වල තිබෙන කණගාටුව, වේදනාව, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකියි. මෙය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. නමුත් අප එම තත්වයට මුහුණ දෙමින් සිටිනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

මෙම සිදුවීම මට කොළඹදී දැනගන්නට ලැබුණු විට වහාම මඩකලපුවේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. නැතිවූ ජීවිත අපට නැවතත් ලබාගත නොහැකියි. එම නිසා ඇත්ත වශයෙන්ම මම නැවත නැවතත් ඒ වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.


වන්දි ලබාදෙනවා

ඛේදවාචකයට ගොදුරු වූ පවුල් සඳහා වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් අපි කටයුතු කරනවා. නැවතත් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අද හින්දු සහ ඉස්ලාම් දේවස්ථානවල යාඥා පවත්වනවා. ඉදිරියේදී කතෝලික පල්ලිවලත් යාඥා කටයුතු ආරම්භ කරනවා. ඒවගේම සඳුදා දිනය වන විට රජයේ පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයට රටේ තත්වයට පාලනය කරමින් ඉදිරියට යන අතර ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමට අවශ්‍ය සියලූම පියවර අපි ගනිමින් සිටින බවත් පැවසිය යුතුයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ දෙනෙක් දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇතැමුන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මෙම සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා සහාය ලබාදීමට විදේශ සංවිධාන පවා අපට උදව් කරනවා. එමෙන්ම නවීනතම පරීක්ෂණ උපකරණ සහ ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිත කරනවා.

රහසිගත කණ්ඩායම් ගැන හොයනවා 

මෙම කණ්ඩායමට අමතරව රට තුල තවත් රහසිගත කණ්ඩායම් තිබේද යන්න පිළිබඳවත් අප සොයා බලනවා. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය අපේ රටින් තුරන් කිරීමට කටයුතු කරන බව මම මේ අවස්ථාවේ ඔබ සියලූ දෙනාට ප්‍රකාශ කරනවා. ඔවුන් පිළිබඳව සාමාන්‍ය ජනතාව වන ඔබ සතුවත් යම් තොරතුරු තිබෙනවා නම් ආරක්ෂක අංශ වෙත ලබාදෙන්න. රටේ උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක සිට යුද්ධයක් ඇතිව තිබුණා. යුද්ධයෙන් පසුව අපි සාමයෙන් ජීවත් වුණා. මෙම සිද්ධියෙන් පසුව වුවත් අප සාමයෙන් කටයුතු කළ යුතුයි. මෙම ඛේදවාචකය සිදු කළේ අන්තවාදීන් කිහිප දෙනෙකු විසින්. එම නිසා අනෙක් සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික සියලූ දෙනාම එකට එකතු වී එම අභියෝගය ජය ගත යුතු යැයි මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

මෙම සිදුවීමේදී ඉවසීමෙන් කටයුතු කළ සියලුම පූජකතුමන්ලාටත්, ඒවගේම වෛද්‍යවරුන්, අනෙක් කාර්ය මණ්ඩල, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, රජයේ නිලධාරීන් ඇතුළු සියළු දෙනාටම මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා.‘‘