යුද ජයග්‍රහණය කෘතියකට නැංවිය යුතු බව ජනපති කියයි



වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපති පවසයි.

එම කියැවීම තුළ රටට ආදරය කරන සහ දේශාභිමානයෙන් පිරි අනාගත පරපුරක් රට තුළ නිර්මාණය වනවා මෙන්ම තිස් වසරක යුද්ධයේ සත්‍ය කතාව, එහි පසුබිම සහ මුල් බීජය නිවැරදිව ලෝකයාට විවර කළ හැකි බව ජනාධිපති පෙන්වා දුන්නේ “උත්තමාචාරය” ග‍්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සටන් බිමේ සටන් කළ රණවිරුවාගේ සිට අණදෙන නිලධාරියා, ආඥාපතිවරයා දක්වා සියලුදෙනාගේ අත්දැකීම්, ජීවිත කතා සහ රණශූරත්වය විශිෂ්ට කතා පුවතක් බවයි. අදට සකී‍්‍රය සේවයේ නිරත රණවිරුවන් එම අතීත මතක සටහන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, මාතෘ භූමියට අභිමානයක් එක්කරන එම කතාව ඔවුන්ගේ ජීවන ගමනේ අවසානයත් සමඟ මැකී යාමට වගකිව යුතු පිරිස් ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම මෙවන් අභිමානවත් මතක සැමරුමක් මතු පරපුරට තිළිණ කිරීම වසර 30 ක යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන් වෙනුවෙන් කරන මහත්ම උත්තමාචාරය බව ද ඔහු පැවසුවේය.  

පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලද වීර රණශූරයන්ගේ චරිතපදානයක් ලෙස “උත්තමාචාරය” කෘතිය ලියැවී තිබේ. ස්වකීය ජීවිතයට ද, ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොසිතා සිය සගයන්ගේ ජීවිතාරාක්ෂාව නොහොත් සිය බළකායේ කාර්ය අරමුණු මුදුන්පත් කර ගැනීම උදෙසා සකී‍්‍රය සේවා කාලය තුළ දී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණ දෙමින් වික‍්‍රමාන්විතවූ ද, අභීතභාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නාවූ ද කි‍්‍රයාවන්හි පෞද්ගලිකවම යෙදුන්නාවූ ද, වීරෝදාර රණවිරුවෝ පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලබති. සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ප‍්‍රදානය කරනු ලබන පදක්කම් අතර ඉහළම සහ ගෞරවාන්විතම පදක්කම මෙය වන අතර මේ වන විට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 11 දෙනෙකු හා සෙසු නිලයන් 19 දෙනෙකු පරම වීර විභූෂණයෙන් පිදුම් ලබා තිබේ.

මෙම වසරේ යෙදුණු සාමයේ දසවර්ෂාභිෂේක සැමරුමට සමගාමිව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණ ලාභින්ගේ වීර කි‍්‍රයාවන් සමාජයට විවර කරමින් මතු පරපුරේ පරිශීලනය සඳහා ‘උත්තමාචාරය’ ග‍්‍රන්ථය නිර්මාණය කර ඇත.

ග‍්‍රන්ථය එළිදක්වමින් පරම වීර විභූෂණ පදක්කම්ලාභීන්ගේ සමීපතම ඥාතීන් වෙත ග‍්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සාමයේ දසවර්ෂාභිෂේක සමරු මුද්දරය සහ මුල්දින කවරය මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන්වීම ද සිදු විය.

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මහරගම අපේක්ෂා රෝහල වෙත සිදුකරන ලද රුපියල් මිලියන 70ක මුල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක විසින් මෙහිදී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, ති‍්‍රවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ‍්‍රාමික හමුදා නිලධාරින්, රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර සාමයේ දසවර්ෂාභිෂේක සැමරුමට සමගාමිව මාතෘභූමිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බි‍්‍රගේඩියර් නිලයේ නිලධාරින් දස දෙනෙකු මේජර් ජනරාල් නිලයට උසස් කිරීමට ද සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කටයුතු කර තිබේ.