අලුත් සමෘද්ධිලාභීන්ගෙන් රු.මි. 300 අයකර ගනී


නව සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවයේදී රුපියල් මිලියන 300 ක් අපතේ යන බවත් එම වියදම් නව සහනාධාරලාභී පවුල් ලක්ෂ 6 හි සමෘද්ධි සහනාධාරයෙන් අය කරගැනීමට ආණ්ඩු කටයුතු කර ඇති බවත් මේ උත්සහය තමන් දැඩිව හෙළාදකින බවත් අද (29) නිවේදනයක් නිකුත් කරන සමෘද්ධි නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ පවසයි. 

මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 

‘‘නව සමෘද්ධි සහනාධාර බෙදා දීමේ උත්සවයෙහි රු.මි. 300 ක නාස්තිකාර වියදම  නව සහනාධාරලාභී පවුල් ලක්ෂ 06 හි සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගැනීමේ ආණ්ඩුවේ නිර්ලැජ්ජිත තීරණය තරයේ හෙලා දකිමු.

නව පවුල් ලක්ෂ 06 වෙත අලූතින් සමෘද්ධි සහනාධාරය ලබා දීමේ උත්සව සදහා වැය කිරීම නියමිත රු.මි 300 ආසන්න මුදල නව සමෘද්ධි සහනාධාර පවුල් ලක්ෂ 06 හි සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගැනීමට 28 ඊයේ දින ගත් තීරණය කිරීම අප සංගමය තරයේ හෙලා දකිමු.

ප‍්‍රතිපුරණය කිරීමේ පදනම මත සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් රු.මි 180 මුදලක් පළමුව වියදම් කිරීමට 2019.05.17 දින පැවති සමෘද්ධි සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් අනුමැත කර තිබු අතර එම මුදල් පියවා ගැනීම වෙනුවෙන් 2019.05.28 ඊයේ දින පැවති සමෘද්ධි බැංකු කළමණාකරණ මණ්ඩලය මගීන් නව සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු හරහා එක් සමෘද්ධි සහනාධාරලාභියෙකුගෙන් රු.500 (රු.පන්සියය) බැගින් නව සමෘද්ධීලාභී පවුල් වලින් අය කර ගැනීමට තීරණය කර ඇත.

2019.05.30 දින සිට 2019.06.15 දින දක්වා පැවැත්වෙන මෙම උත්සව වෙනුවෙන් වේදිකා 25 සදහා රු.ලක්ෂ 1062, ටී ෂර්ට් 125000 වෙනුවෙන් රු. ලක්ෂ 605, පෝස්ටර් සදහා රු.ලක්ෂ 24, මාධ්‍ය ප‍්‍රචාරණය වෙනුවෙන් රු.ලක්ෂ 382 හා ආවරණ කුටි වෙනුවෙන් රු.ලක්ෂ 53 වියදම ලෙස රු.ලක්ෂ 2673  හා ගමන් වියදම් හා සංග‍්‍රහ වියදම් ලෙස විශාල මුදලක් වැය කිරීම ආණ්ඩුව සැලසුම් කර ඇත.

මෙම උත්සවය වෙනුවෙන් රු.මි 180 වියදම් කිරීමට අපේක්ෂා කර තිබු අතර එම මුදල පියවා ගැනීම සදහා නව සමෘද්ධි සහනාධාරලාභියෙකුගේ සමෘද්ධි සහනාධාරයෙන් රු.300(රු.තුන්සියයයක්) බැගින් සහනාධාර පවුල් ලක්ෂ 06 අය කර ගැනීම සැලසුම් කර තිබුනත් මේ වන විට සැලසුම් කර තිබු වියදම රු.මි 300 දක්වා ඉහල යාම මත එක් සමෘද්ධි සහනාධාරලාභියෙකුගෙන් රු.500 (රු.පන්සියය) බැගින් නව සමෘද්ධී ලාභීන්ගෙන් වැඩි කර අය කර ගැනීමට තීරණය කර ඇත. 

ඒ අනුව මෙම නාස්තිකාර වියදම සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු මගීන් අය කර ගැනීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතාගේ අත්සනින් 2019.05.29 අද දින දිවයිනේ සියළුම සමෘද්ධි බැංකු කළමණාකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතව ඇත. 

ආණ්ඩුවේ ඉදිරි මැතිවරණ උවමනාව වෙනුවෙන් සිය ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සදහා උත්සව සංවිධානය කර ඊට රු.මි 300 ආසන්න මුදලක් වියදම් කර එම මුදල සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගැනීම නිර්ලැජ්ජිත කාර්යක් බව අප සංගමය මෙයින් පෙන්නා දෙන අතර මෙම තීරණය අවලංගු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව අප සංගමය මෙයින් පෙන්නා දෙමු.'' යන්නයි. 



සබැඳි පුවත්