ශ්‍රී ලංකන් නොසැකිලිමත්කම නිසා කොල්කටා ගිය මගීන් අමාරුවේ


අද (19) උදෑසන 8. 25 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් කොල්කටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 187 දරණ ගුවන්යානයේ සිටි මගීන් 27 දෙනෙකුගේ ගමන් මලු කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ගුවන්යානයෙන් ඉවතට ගෙන මෙරට තබාගෙන ඇත. 

මෙම යානය අද උදෑසන 11. 30 ට කොල්කටා ගුවන්තොටුපළට ගොඩබැස ඇති අතර සිදුවූ අපහසුතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව තිබේ. විශේෂයෙන්ම, හෘදරෝග හා දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ගේ බෙහෙත්, ළදරුවන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආදිය ද ගමන් මලු වල බහා තිබෙන බව ගුවන්යානයේ සිටි මගීන් කීපදෙනෙකු අප වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ ගැන අප බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මාධ්‍ය අංශයෙන් විමසූ විට ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර ගමන් මලු අංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ ගැන කිසිදු නිළ තොරතුරක් ලබාදිය නොහැකි බවයි.